Sunday, July 27, 2014

බණ කියලා, ලැබුණු පිරිකරයත් නැවත පන්සලටම දීලා, පාසල් උපකරණ බෙදාදුන්නු අපි සංඝරාජපුරෙන් පිටත් වෙලා සෙංකඩගල පුරට ආවා...

please share this album with ur friends...
කරුණාකර මෙය ෂෙයාර් කරන්න...

මහනවුර හෙළවිජය තරුණ සංවිධානය මගින් ලංකාව පුරා දියත් කෙරෙන ‘‘තුරුණු පාරමී“ ආගමික, අධ්‍යාපනික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ඊයේ දින එනම් 2014-07-26 දින සවස 6 ට මහනුවර, හතරලියද්ද, මුරුද්දෙණිය ශ්‍රී පියරතන දහම් පාසලේ දී සිදු කෙරිණි. හෙළවිජය තරුණ සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු මෙම වැඩසටහන සඳහා හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් තුමන් හා අප සංවිධානයේ නිලධාරී හා සාමාජික පිරිස ද සහභාගි වූහ. සවස 6 ට වැඩසටහන ආරම්භ වූ අතර පළමුව පිළිගැනීමේ කථාව විහාරස්ථානයේ විහාරාධිපති මුරුද්දෙණියේ සීලරතන නායක හාමුදුරුවන් විසින් සිදුකරනු ලැබිණි. ඉන්පසු හෙළවිජය තරුණ සංවිධානයේ ප්‍රධාන සංවිධායක තුෂාර රුවන් මධුසංක මහතා විසින් අප සංවිධානයේ ‘‘එකමුතුව ගොඩනගමු අපි අපේ දේශය“ යන තේමාව ඔස්සේ හා ‘‘තරුණු පාරමී “ වැඩසටහන් මාලාව පිළිබඳව පැහැදිළි කරමින් පිරිස අමතනු ලැබීය. ඉන් පසු පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් සහභාගි වී සිටි පිංවත් මව්පිය දූදරු සියලු දෙනා වෙත ‘‘උත්සාහය“ යන තේමාව ඔස්සේ පැයක පමණ ධර්ම දේශනයක් සිදුකෙරිණි. ඉන් පසු අප සංවිධානය මගින් සූදානම් කළ දහම් පරිස්කාර පිරිසට අතගසා ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් වෙත පූජාකළේය. ගඟසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ අදහසකට අනුව ධර්ම දේශනාව අවසානයේ උන් වහන්සේට ලැබෙන පිරිකර එම විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වෙත යළි අප පූජාකළ අතර එය සැම දෙනාගේ ප්‍රසාදයට හේතු විය. දුෂ්කර ගම්මානවලට යන අප එහි සිදුකරන ආගමික වැඩසටහනකින් ලැබෙන පිරිකරය පවා ගෙන නොඑන අතර අප බලාපොරොත්තු වන එකම දෙය නම් අහිංසක දරුවන්ගේ හා දෙමව්පියන්ගේ මතු දියුණුවයි... සාර්ථකත්වයයි. ඒ පිළිබඳ ධම්මාලෝක හිමියන් සිදුකළ දම් දෙසුමේ වීඩියෝවෙන් ඔබට මැනවින් පසක් වනු ඇත. ඇතැම් මවක හැඬූ කඳුළින් ශ්‍රවණය කළ ඒ දම් දෙසුම ඔබට අප ගැන යමක් පැහැදිළි කරන අතර ඔබේ ජීවිතයට ද යම් අත්වැලක් සපයනු නියතය. ගම්වල දරුවන්ට බෙදා දෙන පාසල් උපකරණ පසුගිය දිනවල ගඟසිරිපුර හිමියන් විසින් සිදුකළ මව්පිය වන්දනා, කවිබණ, හා සෙසු දම් දෙසුම් ඔස්සේ පිරිකර වශයෙන් ලබාගත් දුව්‍යයන්ය. එසේම මේ වන විට විදේස ගතව සිටින හා මෙරෙට වෙසෙන උන් වහන්සේගේ හිතවත් කලණ මිතුරන් විසින්ද මේ සඳහා ඇතැම් විට උපකාර කරනු ලබයි. පිරිකර පූජාවෙන් පසුව දහම් පාසලේ ළමුන් උදෙසා පාසල් උපකරණ ප්‍රදානය සිදු කෙරිණි. ඉන් පසු ගඟසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ සොයුරියක වන ඌෂා දෙගුරුගේ මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් පාසල් උපකරණ ලැබූ දහම් පාසලේ දරුවන් උදෙසා සහ පැමිණ සිටි සිඟිති දරුවන් වෙත පුංචි කෑම පාර්සලයක් ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් බෙදා දෙනු ලැබීය. ඉන් පසු පිරිස හා සුහදව සුළු මොහොතක් කථාබහ කළ අපි ගැමියන් විසින් ලබාදුන් තේ පැන් සංග්‍රහයද භුක්ති විඳ විහාරයෙන් පිටත්ව ආ අතර එන අතර මග හතරලියද්ද වැලිකන්ද ග්‍රාමයේ අභිනවයෙන් ඉදිවූ හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක වැඳපුදාගෙන රාත්‍රී 11 පමණ වන විට මහනුවරට පැමිණියෙමු. මෙකී සියලු අවස්ථාවන්ගේ ඡායාරූප මෙහි ඇත. ධර්ම දේශනාවේ වීඩියෝව ඉක්මනින්ම ඔබ වෙත ගෙන එන්නම්. ‘‘එකමුතුව ගොඩනගමු අපි අපේ දේශය“ යන අපගේ තේමා පාඨය ඔස්සේ තවත් මෙවැනිම වැඩසටහනකින් යළිත් හමුවෙමු. අපගේ ප්‍රධාන අනුශාසක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු අපට අත්වැලක් වන ඔබ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිටයි....!!!
(හෙළවිජය තරුණ සංවිධානයේ අපි) 071-4962050 (ගඟසිරිපුර ධම්මාලෝක හිමි)