Monday, July 30, 2012

හෙළවිජයෙන් ගොඩනැ‍ගෙන ජය කැකුළු පෙරපාසල...

ඔන්න අපට උදව් කරපු අයට ගොඩක් සතුටු වෙන්න පුළුවන් තොරතුරක් අපි ගෙනාවා. අපි ඔබට කිව්ව වගේම ජය කැකුළු පෙරපාසල හදන්න පටන් ගත්තා. ඒ 28 වන සෙනසුරාදා උදේ 9. 15 යෙදුන සුබ මොහොතින්. දවස් ‍තුනක් ඇතුළත අපි ඉදිකිරීම් නිමා කළා. ‍මේ කටයුත්තට අපේ ගඟසිරිපුර ධම්මාලෝක හාමුදුරුවන්, නිපුන් දිනේෂ්, තුෂාර රුවන්, මාලින්ද දුනුවිල යන අපේ සංවිධානයේ නිලධාරීන් සහභාගී වුනා. ඒ අයත් මේ වැඩේදී ගොඩක් මහන්සි වුනා. ගමේ අයත් මේ වැඩේ ගොඩක් උවමනාවෙන් කරන්න උදව් උනා. මේ සතියේ ඉරිදා සවස් වන විට මෙම ගොඩනැගිල්ලේ සියලු ඉදිකිරීම් කටයුතු නිමාකර එළඹෙන 12 වනදා මෙම පෙරපාසල් ගොඩනැගිල්ල විවෘත කරන්නට බලාපොරොත්තු වනවා. මේ අහිංසක කුඩා දරුවන් වෙනුවෙන් ඉදිකරන පෙරපාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා අපේ ඉල්ලීම පරිදි අපට කිහිප දෙනෙක් මුදලින් උදව් කළා. ඒ අයට සතුටුවන්නත් එක්ක අපි දින දෙකක් තුළ කළ ඉදිකිරීම් සම්බන්ද ඡායාරූප කිහිපයක් පහතික් දක්වා තියෙනවා. තව දින 12 කින් ඔබට මෙහි නිමාව දැකිය හැක.
ඔබ කලින් දුටු වසර 7 පැරණි, නටඹුන්ව පැවති අත්තිවාරම... 
 ඉදිකිරීම් ඇරඹි මොහොත...


 පුංචි ළමයිනුත් පැමිණ...
කුඩා දරුවෙක් තම පෙරපාසලේ ඉදිකිරීම් සඳහා ජලය ගෙනෙමින් උදව් කළ අයුරු... 
අපේ කට්ටිය... 



අඩියෙන් අඩිය ඉදිවෙමින්...


අපේ ප්‍රධාන සංවිධායක...
 මෙහෙමත් කළා...

 දින දෙකකින් කළ ඉදිකිරීම්...
 දින තුනකින් පසු අපි පිටත්ව මේ මාර්ගය දිගේ ආවා. කැමති නම් මේ පාරදිගේ  යන්න ඔබත් එන්න...

ඔබත් එන්න අපිත් එක්ක...

දළදා සමිඳු පිහිටයි...

Tuesday, July 24, 2012

මේ පුංචි දරුවන්ට පිහිට වෙමු...

          ඔබට මතක ඇති අපි කළින් ඔබට කීවා දුප්පත් ගම්මානයක පුංචි දරුවන් වෙනුවෙන් හෙළවිජය තරුණ සංවිධානයෙන් පෙරපාසලක් හදන්න යනවා කියලා. ඒ සඳහා ඔබට පුළුවන් විදිහට අපට උදව් වෙන් කියලත් අපි ඔබට මතක් කළා. එම දරවන්ගේ අසරණකම දැකපු පිංවතුන් කිහිපදෙනෙක් මේ අහිංසක දරුවන් වෙනුවෙන් හදන පෙරපාසල හදන්න අපට මුදල් වගයක් එවලා තියෙනවා. අපි දිගටම මේ වගේ වැඩ කරන නිසා ඒ තරම් මුදලක් අපේ තරුණ අයට තනිවම දරන්න අපහසුයි. කෙසේ හෝ අපට ලැබුණු මුදල් සහ අපට පුළුවන් විදිහට අපි ළඟ තියෙන මුදල් ටිකකුත් දාලා ඔන්න මේ 28 වෙනිදා සෙනසුරාදා අපි මේ පෙරපාසල හදන්න එහෙ යනවා. අපේ පොඩිහාමුදුරුවන් සහ අපේ තරුණ කණ්ඩායමක් එ‍ම ගමේ දින 5 ක් නතරවෙලා හැකි උපරිමයෙන් වැඩකරනවා. අ‍පි මේ පෙරපාසල හදලා ඒ දරුවන්ට අගොස්තු 20 වෙනකොට බාර දෙන්නයි උත්සහ කරන්නේ. නමුත් ඒ සඳහා අපට තව මුදල් ටිකක් අවශ්‍යයි. ඒ එම ගොඩනැගිල්ලේ වහලයට ෂීට්  ගන්න ඕනේ. ඒ සඳහා අපට තව රු 32000.00 විතර අවශ්‍ය වෙනවා. ඉතින් පිංවත් ඔබට පුළුවන් නම් ඔබේ දරුවා සේ මේ අහිංසක දරුවන්ව සලකලා අපට පෙරපාසලේ වහලය සකස්කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා සිටිමු. මේ සඳහා උපකාර කිරීමට කැමතිනම් පහතින් දක්වා ඇති දුරකථනයට අමතන්න... තොරතුරු පහතින් දක්වා ඇත. 

ඔබ උපකාර කරන්නට අදහස් කරන්නේ නම් අගෝස්තු 5 වනදාට පෙර මුදල් ලැබෙන්නට සලස්වන්න.
දැනට 25 පමණ කුඩා දරුවන් ඉගෙන ගන්නා නිවසකට අයත් කඩකාමරය...

ඩෙස් එකකුත් නොමැතිව ඒ දරුවන් ඉගෙන ගන්නා අයුරු...
අප ඔවුන් බලන්නට ගිය දා...
නව පෙරපාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමට යෝජිත ස්ථානය.
අප ගිය දිනයේ පැමිණ සිටි ළමුන් පිරිස තම පෙරපාසල ඉදිරිපිට...
2012.ජූලි මස 28 වන සෙනසුරාදා උදෑසන 8. 40 එළඹෙන සුබ මොහොතින් නව පෙරපාසල් ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ... මෙහි ඉදිකිරීම් තොරතුරු ඉදිරියේදී ‍අපගේ බ්ලොග් අඩවියෙන් බලන්න.
 
ආධාර කරන්නට ඔබත් කැමති නම්

අපගේ ගිනුම් අංකය      003..2..001..7..0033201  (මහජන බැංකුව)

අපට කථා කරන්න...    0714962050
අපට ලියන්න...            helavijayayouthsociety@gmail.com


ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා...

Saturday, July 21, 2012

තාරුණ්‍යයට නව අරුතක්...

හසලක, දුංගොල්ල ප්‍රාථමික විද්‍යාලය අලුත්වැඩියා කිරීම...
1991 ජූලි මස 20 වැනිදා ආරම්භ කළ මෙම දුංගොල්ල පාසල 2012 වර්ෂය දක්වා නැවත අලුත්වැඩියා කර   නොමැත. වසර 21 පසු අපි එම පාසල මෙසේ  නවීකරණය කළෙමු. මේ වැඩසටහනේදී අපට සහය වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, විද්‍යාපීඨයේ මහාචාර්ය, හෙළවිජය තරුණ සංවිධානයේ අනුශාසක පුෂ්පකාන්ති විජේකෝන් ඇදුරු තුමියත් වෛද්‍ය කේ.ටී.එස් ගුණසේකර මහත්මියත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, විද්‍යපීඨයේ කථිකාචාර්ය වරයෙකු වන කසුන් ධනංජය තරුණ මහතා ඇතුළු එම පීඨයේ සංඛ්‍යාන විද්‍යා කවයේ ශිෂ්‍ය සොහොයුරන් කිහිප දෙනෙකි.  එසේම මේ සඳහා හෙළවිජය තරුණ සංවිධානයේ නිර්මාතෘ ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් ප්‍රධාන සංවිධායක තුෂාර රුවන් මහතා සහ ලේකම් නිපුන් දිනේෂ් යන අයත් සහභාගී වූහ...
 මෙන්න අපි කළින් වුන පොරොන්දුව. අමතක නම් කියවලා බලන්න...
දුංගොල්ල ගමේ දරුවන් ඉගෙන ගන්න පාසල ජරාවට පත්ව තිබූ ආකාරය සහ අපේ පිරිස් එහි නවීකරණ කටයුතු කරන අයුරු පහත ඡායා රූප මගින් දැකගත හැක...
 
වසර 20 පමණ තීන්ත ටිකක්වත් ආලේප නොකළ ඩෙස් පුටු...
ජරාවට පත්ව තිබූ පාසලේ එකම ගොඩනැගිල්ලෙහි සැබෑ ස්වරූපය ඔබට මෙයින් වටහා ගත නොහැකිද?..



ශාලාවේ පිටත නවීකරණය කරමින්...
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අපි අපේ දෑත් අපේ රටේ ජනතාව වෙනුවෙන් යෙදවූ මොහොතක්...

පුංචි දරුවන් පරිහරණය කරන ඩෙස් සහ පුටු  අලුත්වැඩියා කරමින්...
පාසලේ ශාලාවේ කැඩී බිඳී ගිය බිම් පොළොව සකසමින්...
මෙම පාසල අලුත්වැඩියා කරන්න ගියපු අපේ අයට කෑම හැදුවෙත් අපේම කට්ටිය තමයි...
ගම්වැසියන් ද අපට සහය වූ අයුරු...
තරුණ මහතෙකු තීන්ත ආලේප කරමින්...

ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින්....
ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමෙන් පසුව එම පාසලෙහි තත්වය ‍මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකිය...
මේ ඉන්න තරුණ මහත්තයා තමයි මේක අන්දෙ...
නවීකරණය කිරීමෙන් පසුව ශාලා‍වෙහි ඇතුළත දිස්වූ අයුරු...

අලුත්වැඩියා කිරීමෙන් පසු පාසල පිටතට දිස්වූ අයුරු...
පිටතට දිස්වූ අයුරු...
පාසලට පිවිසෙන අයෙකුට දැන් පාසල දිස්වන අයුරු...
ගඟසිරිපුර හිමියන්, දුංගොල්ලෙහි ග්‍රාමසේවක මහතා ඇතුළු පාසල අලුත්වැඩියා කරදීමේ එම උතුම් කටයුත්ත සඳහා සහභාගී වූ පිරිස...
පින්තූරයේ ඉන්නේ එදා එම පාසල අලුත්වැඩියා  කරන්න මහන්සි වුන  අයයි.  අපි හැම  කෙනෙක්ම  නිදහස්  අධ්‍යාපනයෙන්  ඉගෙන ගත්ත අය. එනිසා අපට යුතුකමක් තියෙනවා හැකි අයුරින් රට වෙනුවෙන් යමක් කරන්න. මේ වැඩසටහන නිමා කර එම  පාසල දිහා බලන  විට අපේ  මේ හැම කෙනෙකුටමත් , අපට උදව්කළ අයටත් ලොකු  සතුටක්  දැනෙන්න ඇති. ඒ අපට  පුළුවන්  විදිහට රට වෙනුවෙන් අපේම අහිංසක සහෝදර සහෝදරියන් වෙනුවෙන්, පුංචි දරුවන් වෙනුවෙන් යමක් කරන්නට හැකිවීම පිළිබඳව.....දිනදෙකක් වෙහෙසී  පාසලේ අලුත්වැඩියා කටයුතු නිමා කළ අපි හැමෝම ගොඩක් සතුටින් ඒ ප්‍රදේශයෙන් මෙන්න මේ විදිහට සමු අරගෙන ආවා...
තවත් එක ගමනක සොඳුරු නිමාවක්.....
ඔබත් අප හා එක්වන්න. මෙවැනි සමාජ සත්කාර්යයන් සඳහා ඔබගේ ප්‍රදේශයේ තරුණයන් සමග පැමිණ අපට සහාය වීමට කැමති නම් අමතන්න...
ඇමතුම් 0714962050
ඔබේ අදහස් පහතින් සනිටුහන් කර යන්න...

ඔබට දළදා සමිඳු පිහිටයි...


Thursday, July 19, 2012

අපේ රත්තරං අප්පච්චි........

           පහුගිය දවස්ටිකේ අපි ඔබට අම්මා කියන උතුම් තැනැත්තිය තුළ පවතින දරු සෙනෙහසේ ස්වභාවය ගැන කියවෙන පුංචි කථා දෙකක් ඉදිරිපත් කළා. අද අපි තීරණය කළා අපේ ජීවිතය ගොඩනගන්න කැපවෙන අපේ තාත්තාගේ හිතේ තියෙන දරු සෙනෙහස පිළිබඳව ඔබට යමක් කියන්න.

''අම්මා සඳකි මම ඒ ලොව හිරුය        රිදී
  ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණි''

          තාත්තා පිළිබඳව මම මේ ලියන ලිපිය ඔබට නව අද්දැකීමක් ගෙනදේවි. හේතුව මම තාත්තා ගැන මේ ලියන ලිපියේ තාත්තාගේ චරිතය නියෝජනය කරන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේ නිසා. දෙමව්පියන්ගේ ගුණය නිරන්තරයෙන් වර්ණනා කළ එසේම දෙමාපියන්ට මැනවින් උවටැන් හා උපකාර කළ අපේ ශාස්තෲන් වහන්සේ බුදු බව පතමින් ආ ගමන් මගේ තාත්තා කෙනෙකු වශයෙන් ගතකළ ජීවිතය ද අතිශයින් සුන්දර හා ආදර්ශමත් එකකි.

           වෙස්සන්තර රජ්ජුරුවන් හැටියට ඉපදුනු අපේ බෝසතාණන් වහන්සේ බුදු බව පතාගෙන දාන පාරමිතාව පුරපු හැටි අපි හොඳින් දන්නවා. සාමාන්‍යයෙන් කවුරුහරි අද වුනත් දනට පිනට ළැදිව තමන් සතු දේ අන්‍යයන්ට දං දෙනවා නම් අපි ඔහුට කියනවා වෙස්සන්තර රජ්ජුරුවෝ වගෙයි කියලා. ඒ තරම්ම වෙස්සන්තර රජු දාන පාරමිතාව පුරලා තියෙනවා.

          තමන්ට හිමි වෙලා තිබුණ රජ පදවියත් අතහැරදාලා, රජ මැඳුරු හා සියලු වස්තු සම්පත් එපා කියලා ඒවත් අතහැරිය වෙස්සන්තර රජු තවුස් දම් පුරන්න වනාන්තරයට යන්න සැරසෙන කොට මන්ද්‍රී දේවියත් පුංචි කිරිකැටි දරුවන් දෙන්නත් වෙස්සන්තර රජු හා වනයට යන්න සූදානම් වෙනවා. ඒ අයව රජ මැඳුරේ නවත්වන්න වෙස්සන්තර රජු කොච්චර උත්සහ කළත් නවත්වන්න බැරි වෙනවා. අවසානයේ වෙස්සන්තර රජු, මන්ද්‍රී බිසවත් දරුවන් දෙදෙනාත් සමග රජ මැඳුර හැරදා වනගත වෙන්නට පිටත් වුනා.

          යන අතර මගදි අශ්වයන් දෙදෙනාවත් අශ්ව රථයත් දන් දෙනවා. වනගත වෙලා කාලය ටිකෙන් ටික ගෙවීගෙන යනවා. එක දවසක් මන්ද්‍රී දේවිය පළවැල නෙළා‍ගෙන එන්න ගිය විටක වෙස්සන්තර රජු භාවනා කරමින් ඉන්න වෙලාවේ රජු‍ට දැකගන්න ලැබෙනවා ජරාවට පත්වුණු කිසි පිරිසිදුවක් නැති ජූජක නම් මහලු බමුණා තමන් ඉන්න පැත්තට පැමිණෙනවා. වෙස්සන්තර රජ්ජුරුවෝ හිතනවා ''මේ මනුස්සයා මෙච්චර දුර කතර ගෙවා‍ගෙන එන්නේ මගෙන් යමක් ඉල්ලගන්න. නමුත් මගේ ළඟ දැන් තියෙන්නේ පෙරෙවි සම්කඩත් පැන් කෙණ්ඩියත් විතරයි. මේවා ගන්න නම් මෙච්චර දුරක් ගෙවාගෙන එන්නේ නැහැ. මේ මනුස්සයා එනවා ඇත්තේ මගේ ඇස් දෙක ඉල්ලන්න. කමක් නැහැ මොහු මගේ ඇස් දෙක ඉල්ලුවොත් මම මගේ ඇස් දෙක ඔහුට දං දෙනවා. මගේ සිරුරේ මස් ඉල්ලුවොත් මස් දං දෙනවා. බැරි වෙලාවත් ඔහු මගේ ජීවිතය ඉල්ලුවොත් කමක් නැහැ මම ඒකත් දං දෙනවා"

           වෙස්සන්තර රජු එහෙම කල්පනා කරමින් ඉන්න වෙලාවේ ජූජක බමුණා වෙස්සන්තර රජු ළඟට පැමිණෙනවා. ජූජක බමුණා වෙස්සන්තර රජුට වැඳලා කියනවා ''ස්වාමීනි මම අසවල් ප්‍රදේශයේ ඉඳලයි පැමිණියේ. මම ඔබෙන් යමක් ඉල්ලගන්නයි ආවේ''. කියලා කියනවා. එවිට වෙස්සන්තර රජු '' ඔව් බමුණ නුඹට කුමක්ද මගෙන් අවශ්‍ය'' කියලා. එවිට ජූජක බමුණා වට පිට බලලා කියනවා ''ස්වාමීනී, මගේ නිවසේ බැළ මෙහෙවර කරන්න නුඹේ දරුවන් දෙදෙනා ඉල්ලා ගන්නයි මම ආවේ'' කියලා. රජ පදවියත් සියලු සම්පත් අතහැරිය, ජීවිතය වුණත් දන්දෙන්න සූදානමින් හිටපු මේ වෙස්සන්තර රජුගේ දෙනෙතින් කඳුළු කඩා හැලෙන්න පටන් ගත්ත. '' අනේ මගේ මේ පුංචි දරුවන් දෙදෙනා මොහුට කෙසේ නම් දං දෙන්නද? සත් අවුරුදු වියෙහි පසු වන මේ කිරිකැටි දරුවන් දෙදෙනාව බැලමෙහෙවරට මම දෙන්නේ කොහොමද?'' අර පුංචි ජාලිය හා ක්‍රිෂ්ණජිනා තමන්ගේ දරුවන් දෙදෙනා ගැන සිතන්නට වුනා.

           ඒ වෙලාවේ ජූජක බමුණා කියනවා ''ස්වාමීනි, බුදු බව පතන ඔබ ඉල්ලන ඕනෑම දෙයක් දන් දෙනවා කියලයි මම අසා තියෙන්නේ'' කියලා. එහිදී වෙසතුරු රජු තවත් අසරණ වෙනවා.

        අවසානයේ '' කමක් නැහැ පුතුනි ලොව වෙසෙන සියලු සත්වයෝ මට මාගේ දරුවෝය. එබැවින් ඔබ දෙදෙනා ඇතුළු සියලු සත්වයන් වෙනුවෙන් මම නුඹලා දෙදෙනාව දං දෙනවා. නුඹලා දෙදෙනාට මෙය දුකක් වුවත් මම මතු දවසක සදා කාලිකව මේ සසර දුකින් නුඹලාව නිදහස් කරවන්නම්'' මෙහෙම කල්පනා කරලා දරුවෝ දෙන්නව හොයනවා. මේ වෙලාවේ අර පුංචි දරුවෝ දෙන්නා විලකට බැහැලා හැංගිලා හිටියේ. දරුවෝ දෙන්නව එක්කං ඇවිත් අතපැන් වක්කරලා ජූජක බමුණාට දං දෙනවා. නමුත් වෙසතුරු රජුගේ දෙනෙතේ කඳුළු වැගිරෙනවා. තාත්තා කෙනෙකුට තමන්ගේ ලෙයින් බිහිවුන දරුවන් තරම් වටින සම්පතක් නැහැ. ඒ දරු සෙනෙහස බොසත් වරයෙක් වුණත් වෙස්සන්තර රජ්ජුරුවන්ගේ හදවතටත් දැනුනා. එහිදී අර පුංචි දරුවන් දෙදෙනා පිටත්ව යන්නට සැරසී තමන්ගේ තාත්තාගේ දෙපා අල්ලගෙන වඳිනකොට වෙස්සන්තර රජ්ජුරුවන්ගේ හදවත දැවෙන්නට පටන් ගත්තා. කඳුළු වගුරුවමින් වෙස්සන්තර රජ්ජුරුවෝ අර පුංචි දරුවන් දෙදෙනාට කියනවා ''මගේ ආදරණීය පුතුනි සියලු සත්වයන් වෙනුවෙන් ඔබලා දෙදෙනා දං දෙනු මිස නුඹලාට අනාදරයෙන් නොවේ'' කියලා කියනවා. ඒ පුංචි දරුවන් දෙදෙනා රජුගේ දෙපා වඳින කොට ඒ දරුවන් දෙදෙනාගේ දෙනෙතින් වැටුණු කඳුළුවලින් රජු‍ගේ දෙපා තෙත් වුනා. බමුණා ඉදිරියේ අසරණ වූ රජුට කළ හැකි දෙයක් වූයේ නැහැ.

        මස් ඉල්ලුවොත් මස් ටිකත් ඇස් ඉල්ලුවොත් ඇස් දෙකත් ජීවිතය ඉල්ලුවොල් ජීවිතයත් දං දෙන්න හිතපු, ලොව්තුරා බුදු පදවිය තරම් උතුම් පදවිය ලබන්නට දාන පාරමිතාව පිරූ වෙස්සන්තර මහ රජු තමන්ගේ දරුවන්  ඉල්ලපු වෙලාවේ අසරණ වෙනවා. ඒ කියන්නේ සැබෑ පියෙකුට තමන්ගේ ජීවිතයටත් වඩා තමන්ගේ ලෙයින් උපන් තම දරුවන් වටිනවා කියන එක නේද? එසේ නම් අපි අපේ තාත්තලාට කොච්චර ආදරේ කරන්න ඕනෙද? ගරු කරන්න ඕනෙද? සලකන්න ඕනේද...?

 

වෙස්සන්තර මහ රජු තම ජාලිය හා ක්‍රිෂ්ණජිනා නම් වූ තම දරුවන් දෙදෙනා ජූජක බමුණාට දංදීම...

පිය සෙනෙහස ගැන ඔබට දැනෙන දේ ඔබට සිතෙන දේ අපට ලියන්න....
                                                          
ගඟසිරිපුර ධම්මාලෝක හිමි

ඔබට සම්මා සම්බුදු සරණයි...