Friday, May 8, 2015

සඳගිරි මහ විහාරයෙහි මුල්ම ඉදිකිරීම වූ පුංචි කුටිය අද එතැන නැත. එහෙත් එම පුංචි ලෑලි කුටියෙහි සිට ලෑලි කිහිපයක් මත සැතපී රැයක් දවාලක් නොමැතිව මා සැලසුම් කළ යෝධ පියවරයන් ඉදිරියට තබන්නට මම සූදානමින් සිටිමි.

මිතුරනි, පසුගිය මාස කිහිපයෙහි සඳගිරි මහ විහාරය වෙත මාගේ හිතවත් පිංවතුන් බොහෝ දෙනෙකු පැමිණියා. ඒ අය මෙන්ම ඔබත් කඳු මුදුනට වී මා මාස 4ක් පුරාවට වැඩසිටි, ඒ පුංචි ලෑලි කුටිය දකින්නට ඇත. එය හන්තාන සඳගිරි මහ විහාරයෙහි මා විසින් ඉදිකළ පළමු ඉදිකිරීමයි. පළමු නවාතැනයි. රැය දවල් දෙකෙහි මාහට රැකවරණ සෙවණ සැලසූයේ ඒ පුංචි කුටියයි. අව්ව වැස්ස දෙකේදි මාහට රැකවරණ දුන්නේ ඒ පුංචි කුටියයි. දානය පිළියෙළ කරගත්තෙත් ඒ කුටියෙහි සිටමයි. වෙසක් පොහොය වන විට උඩ මලුව පිළිවෙළකට සැකසීමට මා අදහස් කර සිටි නිසාත් සුළං කාලය උදාවන නිසාත් එම ස්ථානයෙන් කුටිය කලවා ඉවත් කරන්නට මම අදහස් කළෙමි. සති කිහිපයක සිට කුටිය ගලවා ඉවත් කළ යුතුයැයි සිතුවත් මාස ගණනක් මාහට සෙවණ රැකවරණ සැලසූ මාගේම යැයි කියා ජීවිතයේ දී මා විසින් ඉදිකළ පළමු ඉදිකිරීමත් නිසා එය ගලවා ඉවත් කරන්නට සිත එක්වරම ඉඩ නොදුණි. මාගේ හිතමිතුරෝ එම කුටිය දැක එය ඉතා දුෂ්කර බවත් ඉක්මනින් පඅංසල සැකසිය යුතු බවත් එතෙක් වෙනත් පංසලක වැඩසිටින ලෙසත් කීහ. එහෙත් ඔවුන්ට දැනුණු දුෂ්කරතාව මා සිතට නම් කිසිවිටක නොදැනුනේ මන්දැයි මම අදටත් නොදනිමි. සිය දහස් වතාවක් පිංසල්බිමෙහි තැනින් තැනට ගොස් මෙම කුටිය ගැලවීම පිළිබඳ කල්පනා කළේ චිත්ත රූප මවාපාමිණි. එක් දවසක් දහවල් බුද්ධ පූජාව තබා නිමවත්ම කුටිය ගලවා ඉවත් කළ යුතු යැයි මම සිතුවෙමි. එදිනද ඒකසාඨක බමුණාට සිදුවූ දේම මටත් සිදුවිය. ගලවා ඉවත් කරමි, නොකරමි යැයි සිත දෙපැත්තට නැමුණි. අවසානයේ දෙවරක් නොසිතා මා තවත් සොහොයුරන් දෙදෙනෙකු හා එක්ව මිටියක් ගෙන කුටිය ගලවන්නට පටන් ගතිමි. මගපෙන්වන්නට බාසුන්නැහේ කෙනෙකු අවශ්‍ය නොවුණි. මා විසින්ම වෙනත් ස්ථානයක කුටිය සැකසීය. එම ස්ථානය සුළං සැඩ නොවන සෙවණ සහිත ස්ථානයකි. එමෙන්ම ඉතා අලංකාරය. මේ ඒ පිළිබඳ ව වූ ඡායාරූපයි. මතු දිනක දෙව් මිනිසුනගේ පුදපූජාවනට පාත්‍රවන සඳගිරි මහ විහාරයෙහි මුල්ම ඉදිකිරීම වූ පුංචි කුටිය අද එතැන නැත. එහෙත් එම පුංචි ලෑලි කුටියෙහි සිට ලෑලි කිහිපයක් මත සැතපී රැයක් දවාලක් නොමැතිව මා සැලසුම් කළ යෝධ පියවරයන් ඉදිරියට තබන්නට මම සූදානමින් සිටිමි. ඒ පිළිබඳව වූ උත්තම නාදය, උත්තම රූපය, උත්තම නිර්මාණය ඔබටත් මතු දිනක අසන්නට, දකින්නට, කියවන්නට අවකාසය උදාකරමි. ඔබත් හැකි විටක හන්තාන සඳගිරි මහ විහාරයට පැමිණෙන්න. මිතුරු ඔබ සැමට තෙරුවන් සරණයි...!!!


















































































2 comments:

  1. අලුතින් කුටිය ඉදිකළ ස්ථානය වඩාත් හොඳයි හාමුදුරුවනේ.ඔබ වහන්සේ අනාගතයේ ඉදිකිරීමට නියමිත විහාරස්ථානය පරිසරයත් සමග බද්ධ වන පරිසර හිතකාමී එකක් ලෙස ඉදිකරන මෙන් ඉල්ලා සිටිමි.අශෝබන කොන්ක්‍රීට් කඳු වෙනුවට සුන්දර ගොඩනැගිලි ඉදිකරන මෙන් ඉල්ලමි.

    ReplyDelete
  2. obage adahasa agaya karami. parisarayata hithakara lesa katayuthu kireema mageeeda prathipaththiyai,,,,

    ReplyDelete

ඔබේ අදහස් අගයමු