Sunday, July 8, 2012

අපේ රත්තරං අම්මා....


              මම මේ කියන්න යන කථාව ගොඩක් සංවේදී කථාවක්. අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කොච්චර නම් ආදරේ කරනවාද කියලා අපි කවුරුත් දන්නවා. නමුත් අද රටේ වෙන සමහර දේවල් දැක්කම අපට ඒක එහෙමද කියලත් හිතෙනවා. තම කුසින් මේ ලෝකයට බිහිකරපු දරුවව කුණු ගොඩේ දමායන, වැසිකිලි වළවල් වලට දමන, රේල්පාරේ විසිකරලා යන, ඇතැම් විට මරා දමන අම්මලා ගැන අපි අහලා තියෙනවා. එහෙම කරන අම්මලාට දරු සෙනෙහස කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නත් හැම දරුවෙකුටම තමන්ගේ වටිනාකම කොච්චරද කියා තේරුම් ගන්නත් මම මේ කියන කථාව ගොඩක් වැදගත් වෙයි කියා සිතනවා. මේක අපේම රටේ සිදුවුන ඇත්ත කථාවක්.
 
               අපේ රටේ එක්තරා පිටිසර ප්‍රදේශයක ජීවත් වූ කාන්තාවක් විවාහ දිවියට පත්වෙලා ටික කලක් යනකොට මේ කාන්තාවට දරුවෙක් ලැබෙනවා. ඊට ටික දිනකට පස්සේ ඇගේ ස්වාමිපුරුෂයා මැරෙනවා. මේ වෙනකොට මේ කාන්තාවගේ ඇස්දෙක පේන්නෙත් නැහැ. තමන්ගේ පුංචි දරුවත් එක්ක මේ ලෝකයේ තනිවුන මේ ඇස් දෙක අන්ධ කාන්තාව කොච්චර ප්‍රශ්න ආවත් ඒවගෙන් අධෛර්යයට පත්වුනේ නැහැ. ඇය පුළුවන් විදිහට කුලී වැඩ කරලා නොකා නොබී තමන්ගේ දරුවගේ අනාගතය ගොඩ ගන්න මහන්සි වුනා. නොකා නොබී වැරහැළි අඳිමින් තමන්ගේ දරුවට උගන්වනවා.

                 මේ අහිංසක අම්මගේ එකම බලාපොරොත්තුව ඇගේ කැපකිරීම් නිසාම ඉටු වෙනවා. දවසක් මේ අම්මට දැනගන්න ලැබෙනවා පාසලේ ශිෂ්‍යයන් අතර වැඩිම ලකුණු ලබාගෙන තමන්ගේ පුතා ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වුනා කියලා. ඒක දැනගත්ත මේ අම්මා තමන්ගේ පුතාව ලොකු මත්තයෙකු කරන්න ගොඩක් මහන්සි වුනා. ඇස්දෙක නොපෙනුනත් ඒක බාධාවක් කරගත්තේ නැහැ. මේ අතරේ මේ අම්මට ආර්ථික ප්‍රශ්න විතරක් නෙවෙයි සමාජ නින්දා අපහාස ගොඩකට මුහුන දෙන්න සිද්ධ වුනා.
 
            එක දවසක් මේ අම්මට හිතවත් කෙනෙකුගෙන් රසවත් ආහාරයක් ලැබෙනවා. එදා ඒ අම්මා ඒවා කන්නේ නැතිව තමන්ගේ පුතාට දෙන්න පාසල ළඟට යනවා. මේ වෙලාවේ ඒ පාසලේ විවේක වේලාව නිසා ළමයි එළියේ සෙල්ලම් කරමින් හිටියේ. ඒ අම්මව දැකපු ළමයි කිහිප දෙනෙක් දුවගෙන ගිහින් මේ අම්මගේ පුංචි පුතාට කියනවා ''අන්න අර අන්ධ ගෑනි ඇවිල්ල ඉන්නවා'' කියලා. ඒ වෙලාවේ මේ පුංචි දරුවට ගොඩක් දුකත් ලැජ්ජාවත් ඇති වෙනවා. ඒත් එක්කම තමන්ගේ අම්මා ළඟට යන මේ දරුවා තමන්ගේ අර ඇස් අන්ධ අම්මට කියනවා ''උඹ මෙතෙන්ට ආවේ මගේ යාළුවෝ ඉදිරියේ මට නින්දා කරන්නද?. ආයේ උඹේ කෑම මට එපා. උඹ මේ පාසල පැත්තේ ආයේ එන්න එපා... කියලා මේ දරුවා තමන්ගේ අම්මට කියනවා. අනේ මේ අම්මා තමන්ට ලැබුණු කෑමටික නොකා ඒක දරුවට දරුගින්දර හින්දා දෙන්න ආවා මිසක් දරුවට නින්දා කරන්න ආවා නොවෙයි. තම රෙදි පොටින් කඳුළු පිසදාගත්ත මේ අහිංසක අම්මා පුතාට කිසිවක් නොකියා නැවත නිවසට ගමන් කරනවා.
 
              උදේට ඉර පායලා හවසට නැවත බැස යනවා. මේ විදිහට දවසක් දෙකක් නෙවෙයි අවුරුදු කිහිපයක් ගෙවී ගියා. විශ්වවිද්‍යාලයක් දැකලාවත් නොතිබුනු අර අන්ධ අම්මගේ හිතේ තිබුණු සිහිනය තම පුතාව සරසවියට යවන එකයි. මේ වෙනකොට මේ අන්ධ අම්මාගේ පුතා උසස්පෙළ විභාගය ඉතා ඉහළින් සමත්වෙලා සරසවියට ඇතුළුවෙලා හිටියේ. මේ දරුවා හොඳට ඉගෙන ගන්නවා. පසුව විශ්වවිද්‍යාලයෙන් සමුගත්ත මොහුට උසස් රැකියාවකුත් ලැබෙනවා. එත් එක්කම තම අනෙක් අවශ්‍යතාවය වූ විවාහයත් ඔහු සිදුකරගන්නවා. නාගරික සංකර සමාජයක ජීවත් වෙන මේ තරුණයාට දැන් තමන්ව ඒ තැනට ගේන්න දහදුක් විඳපු නොකා නොබී උගන්වපු අහිංසක අම්මව අමතක වෙලා. ඔහු තම බිරිඳත් දරුවනුත් සමග සැපවත් ජීවිතයක් ගතකරනවා.
 
            මේ කතාවේ එන අර අන්ධ අම්මා දැන් ගොඩක් වයසයි. හම රැළි වැටිලා කෙස් පැහිලා. තමන් බලන්න පුතා අද එයි අද එයි කියලා කල්පනා කරකර ඉන්නවා. දවසක් මේ අම්මට හිතෙනවා තමන්ගේ පුංචි පුතාව බලන්න යන්න. ඇය කෑම ටිකකුත් හදාගෙන ඒකත් එල්ලගෙන හැරමිටි ගගහා තමන්ගේ පුතාව බලන්න යනවා. යන අතරේ මේ අම්මා තමන්ගේ පුතාගේ කුඩා කාලය සිහිකරමින් මගේ දරුවා අද ලොකු මහත්තයෙක් වෙලා හොඳට ඉන්නවා ඇති කියලා හිතාගෙන පුතාගේ ගේ ළඟටම යනවා. මේ වෙලාවේ ඒ ගෙදර මිදුලේ පොඩි දරුවන් දෙදෙනෙක් සෙල්ලම් කරමින් සිටිනවා. අනේ ඇස්දෙක් අන්ධ මේ වයසක කෙනාව දකින අර දරුවන් දෙන්නා බය වෙනවා. ඒ දෙන්නා දන්නේ නැහැ මේ තමන්ගේ ආච්චි අම්මමයි ඇවිදින් ඉන්නේ කියලා. ඒ දරුවන් දෙන්නා අඬාගෙන තාත්තා ළඟට දුවගෙන ගිහින් තාත්තේ එලියේ ගේට්ටුව ළඟ කවුදෝ අන්ධ කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා කීවා.
 
          පුතා එලියට ඇවිත් බලනකොට තමන්ගෙ අම්මා ගේට්ටුව ළඟ හිටගෙන ඉන්නවා දකිනවා. පුතා කෝපයෙන් එතෙන්ට ගිහින් තමන්ගේ ජීවිතය ගොඩනගන්න දහසක් දුක් විඳපු අම්මට දොස් කියන්න පටන් ගත්තා. '' එදා උඹ පාසලේදී මට නින්දා කළා. අද ආවද උඹ මගේ දරුවො දෙන්නවත් බය කරන්න. පලයන් යන්න ‍අන්ධ ගෑනි...  ඒ විදිහට අන්ධ ගෑනි කියමින් බැනවැදිලා තමන්ගේ අම්මාව එළවගන්නවා. එදා ඒ අසරණ අන්ධ අම්මා කමක් නැහැ මගේ පුතේ මට උඹේ කටහඬ හරි අහන්න ලැබුණා. මට දැන් සැනසීමෙන් මැරෙන්න පුළුවන්. මගේ පුතා දැන් හොඳ තැනක ඉන්නවනේ.
 
         අම්මා නැවතත් තමන්ගේ ගරා වැටුනු පුංචි පැල්පතට ඇවිල්ලා කාලය ගතකරනවා. ඒත් ඉස්සර වගේ නෙවෙයි මේ අම්මා දැන් ගොඩක් වයසයි. මේ අම්මා තමන්ගේ පුංචිපුතා ගැන කල්පනා කරමින්ම කාලය ගතකරනවා. හැඬූ වාර අනන්තයි. මෙහම කාලය ගෙවෙනකොට දවසක් මේ අම්මගේ පුතාට දැනගන්න ලැබෙනවා තමන්ගේ අම්මට ගොඩක් අසනීප බව. ඔහු කල්පනා කරනවා ''අම්මා මැරුනට පස්සේ ඉඩම අයිති වෙන්නේ මට. යන්න ඕනේ ඒ පැත්තේ... එ‍හෙම හිතපු මේ පුතා තමන්ගේ අම්මයි තමනුයි ජීවත්වුන පුංචි පැල්පතට යනවා. ඔහුට තමන් පුංචිකාලේ මේ ගෙදර ජීවත් වුන හැටි සෙල්ලම් කරපුතැන් මතක් වෙනවා. ඒත් එදා මේ පුතා ගෙදරට යන වෙලාවේ අම්මා ගෙදර හිටියේ නැහැ. මොහු ඒමේ අත ඇවිදිනකොට අල්ලපු ගෙදර කාන්තාව දුවගෙන ඇවිත් කියනවා පුතේ අම්මට ගොඩක් අමාරුවෙලා ඉස්පිරිතාලෙට අරගෙන ගියා. අම්මා යනකොට පුතාට දෙන්න කියලා මෙන්න මේ ලිවුම දුන්නා'' එහෙම කියපු අර කාන්තාව ලිපිය දීලා එතනින් ගියාට පස්සේ මේ පුතා ලිපිය දිගෑරලා කියවන්න පටන් ගත්තා. මේ ලිපිය කියවන ඔබ හිතන්නේ ඒ ලිපියේ මොනවා ලියා තියෙන්න ඇති කියාද......?
 
            පුතා ඒ ලිපිය දිග හැරලා කියවන්න පටන්ගත්තා. ඒ ලිපියේ සඳහන්වෙලා තිබුනේ මෙන්න මේ වචන ටිකයි.  ''මගේ රත්තරං පුතේ මම උඹට උගන්වන්න ගොඩක් දුක් වුනා. අද මට සතුටුයි මම නිසා මගේ රත්තරං පුතා හොඳ තැනක ඉන්න නිසා. මම උඹට කවදා හරි කරදරයක් වුනා නම් සමාවෙයන් මගේ පුතේ. මගේ පුතේ උඹ මට අන්ධ ගෑනි කියිලා දවසක් මට බැන්නා. ඒත් මගේ පුතේ උඹ දන්නේ නැති කථාවක් තියෙනවා. ඒ තමයි උඹේ අම්මට ඉස්සර හොඳට ඇස් පෙනුනා. උඹ මේ ලොකේ ඉපදෙනකොට උමේ ඇස්දෙක අන්ධවෙලයි තිබුනේ. මගේ රත්තරං පුතාට තියෙන ආදරේට.. උඹේ අනාගතේ ගැන හිතලා මම මගේ ඇස්දෙක උඹට දං දුන්නා මගේ පුතේ''
 
            ලිපිය කියවපු පුතා දෙනෙතින් කඳුළු පුරවාගෙන තමන්ගේ අම්මාගේ ගුණය වටහාගෙන අම්මව බලන්න ඒ වේලාවේම රෝහලට දුවගෙන යනවා. නමුත් පුතා රෝහලට යනකොට අම්මා හිටියේ රෝහලේ මෝචරියේ. අම්මා වෙනුවෙන් සිදුකළ යුතු සියලු අවසන් කටයුතු පුතා තම වියදමින් සිදුකරනවා. නමුත් පුතාට අම්මා ජීවත්ව ඉද්දි එක බත් පිඩක් තමන්ගේ අතින් කවන්න බැරි වුනා. අම්මට ඇඳුමක් අරන් දෙන්න බැරි වුනා. ඒ පිළිබඳ පසුතැවිල්ල නම් පුතාගේ මනසේ දෝංකාර දෙමින් තිබුණා.
 
           අම්මා කෙනෙකුගේ හදවතේ තියෙන දරු ‍‍සෙනෙහස හරියට අහස වගෙයි. නිම් තෙරක් නැහැ. ඉහත මා දැක්වූ කථාවේ එන අම්මාගේ ජීවන චරිතය තුළින් පවා එය අපට පැහැදිළී වෙනවා. අද රටේ ටිකෙන් ටික මාපිය දූදරු සෙනෙහස වියැකී යන තත්වයක් දකින්නට තිබෙනවා. ඔබ ඔබේ රත්තරං අම්මාගේ තාත්තාගේ අගය දන්නේ නම් ඔවුන්ට හොඳින් සලකන්න. රැකබලා ගන්න.
                                                     ගඟසිරිපුර ධම්මාලෝක හිමි
                                                     නිර්මාතෘ
                                                     හෙළවිජය තරුණ සංවිධානය

මාපිය ගුණය සදා ලොව බැබළේවා........

අප පැවැත්වූ මාපිය වන්දනා වැඩසටහනක වීඩියෝ දර්ශන මෙම සබැදිය හරහා ඔබට නැරඹිය හැකිය - http://www.youtube.com/watch?v=AiizncpQdkI&feature=related

26 comments:

  1. අපේ හාමුදුරැවො ලස්සනට ලියලා

    ReplyDelete
    Replies
    1. පුළුවන් විදිහට ලිව්වා.හොඳයිනම් හොඳයි.....බොහොම ස්තූතියි ලක්මාල් අයියේ....

      Delete
  2. godak sanweedi kathawak ape hamuduruwane....ada samajaye tiyana yathaswabawaya makai....ammagei thathagei watinakama kiyala nima karanna be...a ayage watinakama nodanna mudalata balayata kedara pawkarayo ada hathu pipinna wage bihiwenawa....ape hamuduruwan athulu pirisa may karana utum karyaa awan ayage as pedimata mana pituwahalakma wewa....theruwan saranai sama siyalu denatama.....chiran jeewathu...ayu rakkanthu awada !!!!!1

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ගොඩක් සංවේදී කථාවක්. මේ වගේ සංවේදී කථා ගොඩක් මම එකතුකරලා තියෙනවා. අපි පාසල්වල දරුවොයි දෙමව්පියොයි එකතුකරලා මාපිය වන්දනා වැඩසටහන කරනවා. එ වැඩසටහනේදී මේ වගේ කථාවක්ප කියනවා. මේ වගේ වැදගත් සංවේදී කථා කියිපයක් මම ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. ඒවත් බලන්න එන්න. ඔබටත් ගොඩක් පිං ජනිත්....

      Delete
    2. theruwan saranai...ape hamuduruwan athulu samadenatama...yoda bala yoda shaktiya labewa...

      Delete
  3. ගොඩාක් ආදර්ශමත් කතවක්..................

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම මේ අම්මගේ චරිතය ගොඩක් අද සමාජයට ඉතා වැදගත් පනිවිඩයක් දෙනවා. මොකද අද අපි හැම වෙලාවෙම දරුවන්ටයි දොස් කියන්නේ. හැබැයි සමහර තැන්වලදි දෙමව්පියන්ගේත් වැරදි තියෙනවා. අද සමාජයේ ජීවත්වෙන අම්මලාට තමයි මේ කථාව ගොඩක් වැදගත් නවනවා. මොකද අම්මා කියන්නේ කවුද කියලා මේ කථාවේ අම්මා අපට හොඳින් කියලා දීලා තියෙනවා. ඒ අම්මා මැරෙන්න යනකොට තමයි මගේ ඇස්දෙක තමයි උඹට දුන්නේ කියලා කිව්වේ...සසන්ක ඔබටත් බොහොම පිං සිදද්දවෙනවා.....

      Delete
  4. aththatama godak honda kathawak.thamange ammalata thaththalata salakanne nathi lamainta hoda kathawak.

    ReplyDelete
    Replies
    1. ඔව් පසිඳු මේක ගොඩක් වැදගත් ආදර්ශවත් කථාවත්...ඔබටත් බොහොම පිං...

      Delete
  5. ගොඩක් වටිනවා

    ReplyDelete
  6. Replies
    1. ඇගයීම පිළිබඳව සතුටුයි. බොහොම පිං

      Delete
  7. Replies
    1. ඔබ වහන්සේටත් ගොඩක් පිං අපේ හාමුදුරුවනේ........

      Delete
  8. මේව එළිමහනේ දරැවන්ට කියා දෙන්න අපේ හාමුදුරැවනේ ළමා සමාජය පිරිහිල ාපුදුම විදයට පහත් වැඩ සමාජය ගිලගෙන රැපවාහිනි සේවා අපේ අහිංසක රට වනසනව

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ අපි මේ වෙනකොටත් ලංකාව පුරා පාසල්වල දෙමව්පියෝ වෙනුවෙන් මාපිය වන්දනා වැඩසටහන කරගෙන යනවා. නමුත් මේක අපේ තරුණ සංවිධානයට විතරත් කරන්න බැහැ. හැබැයි අපි අපට පුළුවන් උපරිමයෙන් මේ වැඩසටහනෙන් දෙමව්පියන් සහ දරුවන් දැනුවත් කරගෙන යනවා. ඔබේ අදහස අපි අගේ කරනවා. ඔබ තුමන්ට බුදුසරණයි....

      Delete
  9. Replies
    1. ඔව් යසිරු මේ වගේ කථා වගේම තවත් වැදගත් දේ ඉදිරියේදී කියවන්න පුළුවන්. අපත් එක්ක දිගටම සම්බන්ද වෙන්න. ඔබටත් තෙරුවන් සරණයි....

      Delete
  10. ජීවිත යථාව පිළිබඳ අතිශය සංවේදී සටහනකි.

    ReplyDelete
  11. hodai.... lassana vadagath katavak... :)

    ReplyDelete
  12. kiyanna wachana ne hamuduruwane........

    ReplyDelete
  13. ගොඩාක කාලෝචිත කතාවක් අපේ හාමුදුරුවනේ...

    ReplyDelete
  14. මැරුනාට පස්සේ ඔක්කොම යුතුකම් කරනවාට වඩා ජීවත්ව ඉන්න කාලයේ එක බත් කටක් අම්මා කෙනෙකුට කවන එක ලොකු පිනක් ..ඒ වගේම ආගම් වලට එරෙහිව බ්ලොග් ලියන මේ කාලයේ මෙවැනි බ්ලොගයක් දැකීමත් සතුටක් අපේ හාමුදුරුවනේ.ඇත්තමයි මේ කතාව ගොඩක් වටිනවා අපේ තරුන පරම්පරාවට

    ReplyDelete
  15. ithaaama honda lipiyak theruwan saranay ape haamuduruwanee.....!!!

    ReplyDelete

ඔබේ අදහස් අගයමු