අම්මා තාත්තා කියන වචන දෙක අපේ කන්වලට ගොඩක් මිහිරි වචන
දෙකක්. ඒ වචන කොච්චර ඇහුවත් අපට එපා වෙන්නේ නැහැ. ඒ අපට මේ ලෝකයේ ගොඩක්ම උපකාරී සමීප මිනිසුන් වන්නේ අපේ
අම්මයි තාත්තයි නිසා. මේක මිනිස්සුන්ට පමණක් නොවෙයි තිරිසන් සතුන් අතර පවා
දකින්න පුළුවන්. තිරිසන් සතුන් පවා තම මව්පියන්ගේ අගය වටහාගෙන ක්‍රියා කළ
අයුරු ඉතිහාසයෙන් අපට ඉගෙන ගන්න පුළුවන්. බුදුබව පතාගෙන මේ දුක්බර සසරේ පෙරුම් පිරූ අපේ බෝසතාණන්
වහන්සේ සත්ව ආත්මයන් ලබා සිටියදී අම්මාට ආදරයෙන් සලකපු අවස්ථා තියෙනවා. මේ ඒ උතුම් කථා පුවත් අතුරින් තවත් එක ලස්සන කථාවක්.
බුදු බව ප්‍රාර්ථනා කරමින් සංසාරයේ දස පාරමිතා සම්පූර්ණ
කළ අපේ මහ බෝසතාණන් වහන්සේ එක් ආත්මභාවයක ඇත් කුලයේ ඉපදෙනවා. මේ පුංචි ඇත් පැටියාගේ සරීරය සුදුම සුදු පාටයි. මේ පුංචි ඇත් පැටියා ඉපදෙන්නේ හිමාල වනාන්තරයේ අසූදහසක්
තරම් වූ ඇත් කණාඩායමක ඇත් රජ්ජුරුවන්ගේ එකම ඇත් පැටියා විදිහටයි. අනේ මේ පුංචි ඇත් පැටියා ඉපදිලා දවස් කිහිපයකින් ඇත්
පිරිසේ රජ්ජුරුවන් වූ මේ ඇත් පැටියාගේ තාත්තා හදිසියේම මරණයට පත් වෙනවා. තාත්තා මැරිලා ටික කාලෙකින් බෝසත් ඇත් පැටියාට හිමාල
වනාන්තරයේ එම ඇත් කණ්ඩායමේ රජ පදවිය හිමි වෙනවා. පුංචි ඇත් පැටියටයි ඇත් අම්මාටයි දැන් ගොඩක් සතුටුයි. නමුත් මේ බෝසත් ඇතාට තමන්ගේ මැරුණු තාත්තාව හැම වෙලාවකම
මතක් වෙනවා. අම්මාටත් එහෙමයි.
ඔන්න කාලය ටිකෙන් ටික ගෙවීගෙන යනකොට බෝසත් ඇතාට තවත්
දුක්මුසු දෙයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බෝසත් හස්තිරාජයාගේ ඇත් මවගේ ඇස් දෙක හදිසියේම අන්ධ
වෙනවා. තමන්ගේ ඇස් දෙක අන්ධ වුන වෙලාවේ බෝසත් ඇත් මව පැත්තකට
වෙලා කිසිවක් කරගත නොහැකිව දුකින් ඉන්න වෙලාවේ අපේ බෝසත් හස්තිරාජයා තමන්ගේ ඇස්
දෙක අන්ධ වුන අම්මා ළඟට යනවා. ඔහුට දැනෙනවා තමන්ගේ අම්මා ගොඩක් දුකෙන් ඉන්න බව. තමන්ගේ අම්මා ළඟට යන බෝසත් ඇත් පැටියා ඒ අම්මාගේ එකම
දරුවා හැටියට තමන්ගේ ඇස් අන්ධ අම්මාගේ හිත මෙන්න මේ විදිහට සනසනවා.
“ මගේ රත්තරං අම්මේ අද ඔබ ගොඩක් දුකෙන් ඉන්න බව මම දන්නවා. අපේ තාත්තත් නැති අතරේ ඔබේ ඇස් දෙක මේ විදිහට අන්ධ වුන
එක ඔබට ලොකු දුකක්. නමුත් අම්මේ නුඹ දුක් වෙන්න ඕනේ නැහැ. නුඹේ එකම පුතණුවන් හැටියට මම තවමත් ජීවත් වෙනවා. මම වගේ පුතෙක් ඉන්නකොට ඇයි අම්මේ නුඹ මේ විදිහට දුක්
වෙන්නේ. මගේ අම්මාගේ වටිනාකම මම හොඳට දන්නවා අම්මේ. එනිසා නුඹ දුක් නොවී ජීවත් වෙන්න. අද පටන් මගේ අම්මාට ආහාර සොයා ගෙනැවිත් දෙමින් අවශ්‍ය
සියලු උපස්ථාන මම කරන්නම් අම්මේ” ඔන්න ඔය විදිහට තමන්ගේ අම්මාට පොරොන්දුවක් වෙනවා.
පහුවදා උදේ පාන්දරින්ම අවදිවෙලා බෝසත් හස්තිරාජයා තමන්ගේ
සේනාවත් සමඟ හිමාල වනාන්තරය පුරා පළවැල සොයමින් ගමන් කරනවා. එහිදී සෙසු සියලු දෙනා තමන්ට ලැබෙන රසවත් පළතුරු
එකෙනෙහිම අනුභව කරද්දී කෙතරම් බඩගිනි වුණත් බෝසත් ඇත් රජු තමන්ට ලැබෙන පළතුරු
කන්නේ නැහැ. ඔහු ඒවා එකතු කරනවා. පළතුරු ගොඩක් එකතුවුනාට පස්සේ බෝසත් ඇතා තමන්ගේ මිතුරන්
කිහිප දෙනෙකුට කථා කරලා මෙහෙම කියනවා “ මිතුරනි, මගේ අම්මා දැන් ගොඩක් වයසයි. ඒ විතරක් නොවෙයි දැන් ඇගේ ඇස් දෙක පේන්නෙත් නැහැ. එනිසා ඇයට ආහාරයක් සොයාගන්න බැහැ. දැන් ගොඩක් බඩගින්නේ මම පළතුරු එවනකම් අසවල් ගහ යට
බලාගෙන ඉන්නවා ඇති. නුඹලා ගිහින් මේ පළතුරු ටික මගේ වියපත් අම්මාට ලබා
දෙන්න. මම තව ටිකක් ඉදිරියට ගිහින් මොනවා හරි ටිකක් හොයාගෙන
කාලා එන්නම්.” කියලා.
පළතුරු ටික ලබාගත්ත අර ඇතුන් කිහිප දෙනා ටික දුරක් ගමන්
කරලා මෙහෙම කථා වෙනවා. “ මිතුරනි, අපි අර මහලු ඇතින්න ඉන්න තැනට යන්නේ නැතිව මේ පළතුරු ටික
කාලා අපි අපේ බඩ පුරවා ගමු. අර ඇතින්න ඉන්න තැනට තව ගොඩක් දුර යන්නත් ඕනේ. අපි මේ පළතුරු ටික කාලා අපේ ඇත් රජුට කියමු ඔබේ මවට අපි
පළතුරු ටික දුන්නා කියලා” මේ විදිහට එම පළතුරු ටික අනුභව කරන ඇත් පිරිස දින
ගණනාවක්ම එය එසේ සිදු කරනවා. අර මහලු ඇත් මවට දින ගණනාවක්ම කිසිදු ආහාරයක් ලැබෙන්නේ
නැහැ.
ටික දිනකින් තමන්ගේ අම්මාව බලන්න පැමිණෙන
බෝසත් හස්තිරාජයාට තමන්ගේ අම්මාගේ වෙනසක් දකින්න ලැබෙනවා. බිම වැතිරී සිටි මව දෙනෙතින් කඳුළු
වගුරුවමින් සිටිනු දකින්න ලැබුණා. එයට හේතුව කුමක්ද කියා විමසූ විට දින
ගණනාවක්ම තමන්ට ආහාරයක් නොලැබුණු බවත් එනිසා අධික කුසගින්නෙන් තමන් පීඩා විඳින
බවත් බෝසත් ඇත් මව තම පුතුට කීවා.
අනේ අර අහිංසක බෝසත් හස්තියාට ඒ වෙලාවේ
තමයි සිදුවී ඇති දෙය වැටහෙන්නේ. අනේ මම මගේ කුස ගින්න අමතක කරමින් තමන්ට ලැබුනු
පළතුරු අම්මාට දෙන්න කියලා මිතුරන් අතේ එව්වා. නමුත් ඒ නරක මිතුරන් ඒ කිසිවක් මගේ අම්මාට
දීලා නැහැ නේද කියලා බෝසත් හස්තියාට වැටහෙනවා. ඒ වෙලාවේ ආදරයෙන් තමන්ගේ වියපත් අම්මා දෙස
බලන බෝසත් ඇත් පැටියා තමන්ගේ අම්මාට කියනවා “අම්මේ මට මේ රජ පදවි වලට වඩා සැප
සම්පත්වලට වඩා ඔබවයි වටින්නේ. මට මේ රජ පදවියෙන් වැඩක් නැහැ.
මාව
මේ ලෝකයට බිහි කරලා මාව ආරක්ෂා කරන්න මාව පෝෂණය කරන්න ඔබ ගොඩක් දුක් වින්දා.
එනිසා
මගේ වගකීම නුඹ වියපත් වුනාම ආරක්ෂා කරන එකයි.” කියමින් ඇතා තමන්ගේ මහලු මවට කියනවා “අම්මේ අපි අද රාත්‍රියේම මේ වන පෙදෙස අතහැරදාලා යන්න යමු”
කියලා.
සැබවින්ම එදා රාත්‍රියේ සෙසු සියලු ඇතුන් පිරිස නින්දට වැටුනට
පස්සේ බෝසත් හස්තිරාජයා ඇස් නොපෙනෙන තමන්ගේ අම්මාගේ හොඬවැලෙන් අල්ලාගෙන එදා ඒ
වනාන්තරය හැරදා ඈතින් ඈතට යනවා. පසුදින එළිය වැටීගෙන එන මොහොතේ මේ අම්මයි
පුතයි දෙන්නා හිමාල කඳු වැටියේ ගොඩක් ලස්සන තැනක නතර වෙනවා.
එහිදී
බෝසත් ඇතා තමන්ගේ අම්මාට කියනවා අම්මේ
අපි මේ ඇවිල්ලා ඉන්නේ හිමාල වනාන්තරයේ ගොඩක් ලස්සන සහ ආරක්ෂිත තැනකට. මේ තමයි අම්මේ
චන්ඩෝර කියන පර්වතය. ඔබත් මමත් අද පටන් දවස ගත කරන්නේ මෙතැන තමයි මගේ අම්මේ කියලා
බෝසත් ඇතා තමන්ගේ අම්මාට කියනවා.
එතැන්
පටන් දවස පුරා වෙහෙස වී තමන්ගේ අම්මාගැන සොයා බලන ඇතා අම්මාට ආදරයෙන් උපස්ථාන
කරමින් කාලය ගතකරනවා. සත්තු දඩයම තම ජීවනෝපාය කරගත් වැද්දෙක් දවසක් දඩයමක් සොයාගෙන
වනාන්තරයට ඇතුළු වෙනවා. මේ දඩයම්කරුට නැවත තමන්ගේ නිවස බලා යන්න පාර මතක තිබුනේ
නැහැ. සවස් වෙනකම්ම උත්සහ කළත් පාර සොයාගත නොහැකි තැන මේ වැද්දා මර හඬ දෙමින් හඬා
වැළපෙන කොට බෝසත් ඇතාට මේ අඬන ශබ්දය ඇහෙනවා. බෝසත් ඇතා මේ වැද්දාට අනුකම්පාවෙන්
ඔහුව හොඬවැළෙන් ඇදලා අරගෙන තමන්ගේ පිටේ තියාගෙන වනාන්තරයේ කෙළවරට ගිහින් ඇරලවනවා.
වැද්දා
තමන්ගේ නිවසට ගිහින් දින කිහිපයකින් අපූරු ආරන්චියක් දැනගන්න ලැබෙනවා. ඒ තමයි රටේ
මහරජුගේ මංගල හස්තිරාජයා මරණයට පත්වූ බවත් රජුගේ මංගල ඇතාට සුදුසු ඇතෙක් ඉන්නා
ඉසව්වක් සොයාදෙන කෙනෙකුට කහවනු දහසක් සහ තවත් තෑගිබෝග දෙන බව. මේ ආරංචිය දැනගත්
වැද්දා කල්පනා කරනවා මාව වනාන්තරයේ අතරමං වූ දවසේ මාව ගෙනැත් ඇරලපු ඇතා මහා දළ
සහිත ඇතෙක්. ඒ විතරක් නොවෙයි ඒ ඇතා සුදුම සුදු පාටයි. ඒ ඇතාව රජුට අල්ලා දුන්නොත්
මට ගොඩක් තෑගිබෝග ලබන්න පුළුවනි. එහෙම සිතූ වැද්දා රජු හමුවී කරුණු දක්වා ඇතු
අල්ලාගෙන ඒමට අවශ්‍ය ආයුධ සහ සේනාව රජුගෙන් ලබා ගන්නවා. අනතුරුව දින කිහිපයකින්
බෝසත් සුදු ඇතා තම මව සමග ජීවත් වූ චන්ඩෝර පර්වතය සොයාගෙන පැමිණෙනවා.
එදා
මේ වැද්දා ඇතුළු පිරිස පැමිණෙන විට බෝසත් සුදු ඇතා විලකට බැස ගොදුරු සොයමින්
සිටියා. මෙන්න මේ වෙලාවේ බෝසත් ඇතුට වැටහෙනවා මම පෙර දිනයක පිහිට වූ අර වැද්දා
ඇතුළු පිරිස පැමිණෙන්නේ මාව දම්වැල් වලින් බැඳ අරගෙන යන්නයි කියලා. ඇතා කල්පනා
කරනවා ඇතුන් දහසකගේ ශක්තිය මට තියෙනවා. මහ නගරයක් වුනත් මට තනිව විනාශ කරන්න
පුළුවන්. නමුත් මම මොවුන්ට කිසි කරදරයක්
කරන්නේ නැහැ. මම මට අයිති රජ පදවිය පවා අතහැරදාලා මේ වනයට පැමිණියේ මගේ ඇස් අන්ධ
අහිංසක වියපත් අම්මාට සලකන්න ඇයව රැකබලාගන්න අවශය නිසයි. අම්මාගේ ගුණය සත්‍ය නම්
මම මේ කරන කටයුත්ත උතුම් ක්‍රියාවක් නම් එහි අනුසස් බලයෙන් මට කිසි කරදරයකින් තොරව
මගේ අම්මා ළඟට පැමිණෙන්න ලැබේවා කියා බෝසත් ඇතු අධිෂ්ඨාන කරමින් විල මැද නිසලව
සිටිනවා.
වැද්දා
ඇතුළු පිරිස කිසි අපහසුතාවයකින් තොරව බෝසත් ඇතාව අරගෙන යනවා. ඇතාව අරගෙන ගිහිං
රාජකීය ඇත්ගාලේ බැඳලා ඇතාට ආහාර ගෙනත් දෙනවා. නමුත් කිසිදු ආහාරයක් ඇතා අනුභව
කරන්නේ නැහැ. දින ගණනාවක් ගෙවී යන තෙක්ම ඇතා කිසිවක් අනුභව නොකරයි. මේ අතරේ මහරජු
මේ අලුත් ඇතාව බලන්න ඇත්ගාලට පැමිණෙනවා. රජු පැමිණ ඇතුව පරීක්ෂා කරන විට ඇතා
කිසිවක් ආහාරයට නොගන්නා බවත් එනිසාම ඇතාගේ ශරීරය දුර්වල වන බවත් දැනගන්න ලැබෙනවා. ඒ
අවස්ථාවේ මහරජතුමා බෝසත් ඇතා සමීපයට ගොස් කියනවා පුතේ අද පටන් නුඹටත් මට
හිමි සියලු රාජ සම්පත් ලැබෙනවා. රසවත් ආහාර ඔබට ඕනෑතරම් මේ රජ මැඳුරෙන් ලැබෙනවා.
ඇයි නුඹ දුකින් ඉන්නේ, කිසිවක් අනුභව නොකරන්නේ යැයි විමසනවා.
රජුට
බොසත් ඇතා මෙහෙම පිළිතුරු දෙනවා. මහරජ තුමනි මම අසූ දහසක් ඇති පිරිසේ රජු හැටියට
මීට කලකට පෙර කටයුතු කළා. නමුත් මට හිමි සියලු සැප සම්පත් ඇතහැරදාලා මම චන්ඩෝර
පර්වතය ළඟට ආවේ මගේ අම්මාට සලකන්නයි. අපේ තාත්තත් මේ වන විට මරණයට පත්වෙලා. මගේ
අම්මා දැන් ගොඩක් වයසයි. ඇගේ ඇස් දෙක පේන්නේ නැහැ. ඇස් අන්ධ මගේ අම්මාට ගහක අත්තක්
බිඳගන්නවත් පුළුවන්කමක් නැහැ. ඉතින් මහ රජ තුමනී මට පොඩි කාලේ කන්න දුන්නු මගේ
රත්තරං අම්මා බඩගින්නේ ඉන්නකොට මම කොහොමද කන්නේ? කියා ඇතු රජුගෙන් විමසනවා.
දෙනෙතෙහි කඳුළු පුරවාගත් රජු ඇත් පැටියෙක් අම්මාගේ ගුණය ගැන මට මෙහෙම කියද්දී මම
කොහොමද මේ සතාව මගේ රජ මැඳුරේ සිරකරගෙන ඉන්නේ. එහෙම සිතූ රජු වහාම බෝසත් ඇතාව
නිදහස් කරන්න යැයි අණ කරනවා. ඇතා ගොඩක් සතුටින් තමන්ගේ අම්මාගේ ළඟට ගොස් ඇයට
සලකමින් අම්මාගේ ආශීර්වාද මැද ඇයත් සමග සතුටින් වනාන්තරයේ ජීවත් වෙනවා.
මව්පිය ගුණය සදා ලොව බැබළේවා...