Thursday, July 12, 2012

මහාමායා නම් උතුම් අම්මා ඔබයි.......

      අම්මා කෙනෙක්ගේ හදවතේ තම දරුවන් පිළිබඳව තියෙන සෙනෙහස හරි පුදුමාකාරයි. මහමෙරක් උසට දරු සෙනෙහස හදවතේ පුරවාගත් මේ අම්මා තම දරුවන් වෙනුවෙන් කරන්නේ පුදුම කැපකිරීමක්. ඒ දරු සෙනෙහස තිරිසන් සතුන් තුළ පවා පවතිනවා. ලෙහෙන් අම්මා කෙනෙක් තම නටුවෙන් මහ සමුදුර ගොඩකරන්න උත්සහ දැරුවේ අපමණ වූ දරු සෙනෙහස නිසයි.
        කලින් කථාවේදී මම ඔබට කිව්වේ අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කළ උතුම් කැප කිරීමක් ගැන. අපේ බුදුහාමුදුරුවන් අම්මාගේ තාත්තාගේ ගුණය පිළිබඳවත්, එසේම අපි අපේ අම්මට තාත්තට සැලකිය යුත්තේ ඇයි කියලා දේශනා කළා. එහෙම දේශනා කරපු අපේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධ දේශනාවට පමණක් එම දේශනා සීමා කළේ නැහැ. එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගුවා. සංසාරයෙත් එහෙමයි. මෙහෙම දෙමව්පියන් පිළිබඳව මේ තරම් දේශනා කළේ ඔවුන්ගේ ගුණ ගායනා කළේ ලොව පිළිබඳ පූර්ණ දැනුම තිබූ නිසා විතරක් නොවෙයි. බුදුහාමුදුරුවන්ටත් අම්මාගේ තාත්තාගේ ගුණය සිදුහත් ආත්මභාවයේදී පවා වැටහී තිබුණා. ඒ කොහොමද කියන එකට තවත් එක ලස්සන උදාහරණයක් තමයි අද මම කියන මේ පුංචි කථාව.
           සිදුහත් කුමරු ඉපිදිලා දින හතකින් මහාමායා දේවිය කළුරිය කළා කියලා අපි දන්නවා. මහාමායා දේවිය ඒ විදිහට කළුරිය කරලා උත්පත්තිය ලබන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍යරාජයා හැටියටයි. කාලය ටිකෙන් ටික ගෙවීගෙන යනවා. සිදුහත් කුමරු ගිහි ජීවිතය ගැන කළ කිරී රජ මැඳුරු හා සියලු සම්පත් අතහැර දමා වනගත වී තවුස්දම් පුරන්නටත් පටන් ගන්නවා. මෙහෙම කාලය ගෙවීගෙන යද්දි සිදුහත් කුමරු තමන් බලාපොරොත්තු වන සම්මා සම්බුද්ධත්වය ලබාගැනීම සඳහා දුෂ්කර ක්‍රියා කරන්නටත් පටන් ගන්නවා.
            අපට හරියට කුසට ආහාර ටිකක් වැටුනේ නැත්නම් කොයිතරම් අපහසුවක් වේදනාවක් දැනෙනවද කියලා අපි දන්න‍වනෙ. සිදුහත් කුමරු දුෂ්කර ක්‍රියා කරන්නට පටන්ගත්තම ආහාර  ගැනීම ටිකෙන් ටික අඩු කරනවා. තමන් සිටි තැනට සුළඟට වැටෙන ගස්වල ගෙඩි, කොල, පොතු, කකා ජීවත් වෙනවා. එක් අවස්ථාවක අපේ බෝසතාණන් වහන්සේ ආහාර නොමැති කමින් දැනුනු වේදනාව නිසා ගවයෙකු මළපහ කළ ගොම පිඩක් තවත් විටෙක අළු පවා අනුභව කළ බව සඳහන් වෙනවා. මේ දුක වින්දේ සැබවින්ම අපි නිසයි. සියලු සත්වයන් වෙනුවෙනුයි. බඩ පිරිමදින විට කොඳු ඇටය අතට හසුව තිබේ. එතරම් අනන්තවූ දුකක් විඳපු මේ සිදුහත් බෝසත් තව්සාණන් කොයි මොහොතේ ලොව්තුරා බුදු බවට පත්වෙයිද කියලා තව්තිසා දිව්‍ය ලෝකයේ දෙවිවරුන් බලාගෙනයි හිටියේ. ඔබට මතක ඇති වෙස්සන්තර ආත්මභාවයෙන් පසු තව්තිසා දිව්‍ය ලෝකයේ ඉපදුනු බෝසතාණන් වහන්සේට දවසක් දෙවිවරුන් පැමිණ ආරාධනා කළා මනුලොව ඉපිද සියලු සතුන් සසරින් මුදවන්න බුදුබව ලබාගන්න කියලා. එදා ඉඳන් සිදුහත් කුමරුව ආරක්ෂා කරමින් දෙවිවරු බලාගෙන ඉන්නවා ''අපේ සිදුහත් තවුසාණන් කොයි මොහොතේ බුදු වේවිද?....‍‍'' කියලා.
              තම සිරුරට අනන්තවත් දුකක් දුන් සිදුහත් කුමරු මහා දවාලක කවුරුත් උපකාරයට පිහිටට නැති මොහොතක බිම ඇදගෙන වැටෙනවා. කිසිදු ඉරියව්වක වෙනසක් නොමැතිව කෙනෙක් මැරී වැටුනා සේ සිදුහතුන් නිහඬයි, නිසලයි. දෙවිවරුන්ට අදහා ගත නොහැකි වුනා සිදුවුනේ කුමක්ද කියලා. හැම දෙවි කෙනෙක්ම දුකින් තැවෙමින් නැවතත් තම තව්තිසා දෙවිලොවට දුකසේ පිටත් වෙනවා. ඒ දෙවිවරු මාතෘ දිව්‍ය රාජයා වෙතට ගිහින් කියනවා ''දේවයන් වහන්ස අපි හැම කෙනෙකුගේම එකම බලාපොරොත්තුව අද විනාශ වුනා. සත්වග මේ සසර දුකින් මුදවන්නට ලොව පහළ වූ ඒ ශ්‍රෙෂ්ඨ මිනිසා, ඔබේ පුංචි පුතා සිදුහත් කුමරු අද මහ වනමැද කිසිවකුගේ පිහිටක් නොමැති තැන මැරී වැටුනා. අපි දැන් එතැන සිටයි පැමිණියේ. ඔබත් ගොස් බලා එන්න'' කියලා කියනවා.
               ඒ වචන ටික අහපු මාතෘදිව්‍ය රාජයාගේ (මහාමායා දේවිය) දුක වාවාගත නොහැකි වුනා. දෙවිකම පරයා දරුකම හදවතේ මතුවුනා. දස මසක් කුස දරා මේ ලොවට බිහි කරපු තමන්ගේ පුතා මහ වනමැද අසරණව මැරී වැටුනා කියලා දැනගත්ත මේ අම්මා ඒ මොහොතේම පිටත්වුනා මහවනමැද තම පුංචි පුතාව බලන්න යන්න. මාතෘ දෙව්රජ මහවන මැදට යනකොට සැබවින්ම අර කිව්ව වගේ සිදුහත් කුමරු බිම වැටිලා හිටියා. මේ අම්මාගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙන්නට පටන්ගත්තා. අනේ මගේ පුතේ කියමින්, කිඹුල්වත් නුවර හැම සම්පතක්ම තිබියදී ඒවා අතෑරලා නුඹ වනගත වුනේ මේ ටික කරගන්නද කියමින් අම්මා එදා හඬා වැළපෙන්න පටන්ගත්තා. ''මගේ පුතේ නුඹට කිඹුල්වත් නුවර හැම සැප සම්පතක්ම තිබුනා. සක්ව්ති රජ සුවය පවා ඔබට ලබන්න පින, වාසනාව තිබුනා. ඒ හැම එකක්ම අතහැරදාලා ''මම ඒකාන්ත වශයෙන්ම බුදු වෙමි'' කියලා නුඹ වනයට ආවේ මේ ටික කරගන්නද?. කොණ්ඩඤ්ඤ බමුණාත් අසිත තවුසාත් කියපු අනාවැකි එහෙනම් අද බොරු වුනා. එදා ලුම්බිණි සල් උයනේ ඉපදුනු මගේ පුංචි පුතාට අද මේ මොකද වුනේ'' කියමින් මාතෘ දිව්‍ය රාජයා හඬා වැළපෙන කොට සිහි නැතිව බිම ඇදවැටී සිටි සිදුහත් කුමරුට නැවත සිහිය එනවා. සිහිය ලැබුණු සිදුහත් කුමරුට කවුදෝ තමන් ළඟ හඬා වැළපෙනවා ඇහෙනවා. ඒ වෙලාවේ සිදුහත් කුමරු මෙන්න මහෙම කියනවා.
මේ මහ වන ගැබම කම්පා කර     මින්න...
පුළුවන් තරම් දරුදුක හිතකට       ඇන්න...
අඬමින් වැටී ඔය අප ඉදිරියේ       ඉන්න...
පිංවත ඔබ කවුද රිසියෙමි දැන      ගන්න...
             සිදුහත් කුමරු මෙහෙම කියද්දි මහාමායා දේවියට වැටහෙනවා තමන්ගේ පුතාට තවමත් සිහිය තිබෙන බව. ඒ වගේම දෙවිවරු තමන්ට කියා තිබෙන්නේ බොරුවක් බවත් වැටහෙනවා. ඒත් සමගම සතුටු කඳුළින් මුහුණ පුරවාගත් මාතෘ දෙව් රජ සිදුහත් කුමරුට මෙහෙම පිළිතුරු ‍දෙනවා.
බුදුවන තුරු ළහිව පුත නුඹ වෙතට           නැමී...
දෙව්ලොව වෙසෙන මව් මායා මෙමම     වෙමී...
ඔබ මළ බවක් අද සුරපුර වෙතට              හැමී...
මළකුණ බලා යන ලෙස මෙහි පැමිණි     යෙමී...
             ''පුතේ නුඹ බුදු වෙනකම් දෙව්ලොව සිට නුඹ දෙසා එදා පටන් අද දක්වා සෙනෙහසින් බලා සිටින නුඹේ අම්මා මහාමායා දේවිය මමයි. නුඹ මැරුනා කියලා අද දෙව් ලොව පුරා පැතිරී තිබුණා. එනිසා මම නුඹේ මළකඳ බලා යන්නයි පැමිණියේ'' කියලා මාතෘ දෙව්රජ සිදුහත් තවුසාණන්ට ප්‍රකාශ කරනවා.
           එවිට සිදුහත් කුමරු මාතෘ දිව්‍ය රාජයාට ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට...
වහ යනු ඉවත් වෙනු සුරපුර වෙතට               මිස...
ඒ බොරු කථා මනුලොව වෙත නොදෙනු     මිස...
මේ මගෙ සිරුර ගැන නොයෙ‍දෙනු ඔ‍බගෙ   ඇස...
නාඬනු අම්මෙ මම නොමැරෙමී බුදුව             මිස...
             ''මම මැරුණා කියලා දිව්‍ය ලෝකයේ පැතිරුණාට අම්මේ මම කවදාවත් ලොව්තුරා බුදු බව ලබාගෙන මිස මරණයට පත්වන්නේ නැහැ. ඒ බොරු මේ මනුස්ස ලෝකයේ පතුරුවන්නට එපා. අම්මේ ඔබේ පුතා කවදාහරි මැරෙනවානම් මැරෙන්නේ ලොව්තුරා සම්බුදු බවට පත්වෙලයි. අම්මේ නුඹ දුක් නොවී දෙව් ලොවට යන්න. මම නුඹේ ආදරණීය එකම පුතා හැටියට කවදා හරි ලොව්තුරා සම්බුදු පදවි ලබාගෙන නුඹව බලන්න, නුඹට දහම් දෙසන්න මම දිව්‍ය ලෝකයට එනවා. එතෙක් නුඹ දුක් නොවී සැනසීමෙන් දෙව්ලොව වාසය කරන්න. මම ඉක්මනින්ම නුඹව බලන්න එහි පැමිණෙන්නම්....'' සිදුහත් කුමරුට වැඳ මාතෘ දිව්‍යරාජයා එතනින් නික්මෙන්නට සැරසුනු වෙලාවේ තමන්ගේ පුතු, සිදුහත් කුමරුන්ගේ මුහුණ දෙස බලමින් මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා.
සිදුහත් බුදු පුතුනි ඔබෙ පින මතු         වේවා...
දරුදුක දෙවි වෙලත් මතු වී බල            පෑවා...
අම රස  දහම් ගඟුලට සොමි ගුණ      සේවා...
අද හෙට මගෙ පුතා ලොව්තුරු බුදු      වේවා...
 මහාමායා දේවිය දුටු සිහිනය........සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීම...
 දුෂ්කර ක්‍රිය කරන සමයේ සිදුහත් තවුසානන්...
 ලොව්තුරා බුද්ධත්වයට පත්ව තුසිත දෙව් ලොවට වැඩ මාතෘ දිව්‍ය රාජයාට (මහා මායා දේවිය) අභිධර්මය දේශනා කිරීම...
තවත් මෙවැනි වැදගත් යමක් සමගින් යලිත් අපි හමුවෙමු...
                                                       ගඟසිරිපුර ධම්මාලෝක හිමි
                                                       නිර්මාතෘ
                                                       හෙළවිජය තරුණ සංවිධානය.

  ඔබට තෙරුවන් සරණයි...

21 comments:

  1. මිහි මඩලේ අදුරු කුසේ දිය උල්පත අම්මා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පැමිණියාට...බුදුසරණයි....

      Delete
    2. මේ වෙසක් කාලේ ඔබලාට බොහෝ ම පිං 🙏🙏🙏🙏🙏

      Delete
  2. Replies
    1. නාමල් පින්තූර නම් අපේ නොවෙයි. කථාව අපි ලිව්වේ. බුදුසරණයි...

      Delete
  3. බෝසතාණන් වහන්සේට බුදුවෙන්න විවරණ දුන්නෙත් අම්මා .අම්මගේ ප්‍රාර්ථනාව ඒ තරම් බල සම්පන්නයි

    ReplyDelete
    Replies
    1. ඔව් චතුර මල්ලි මේ වගේ තවත් කථා තියෙනවා. ඒවත් කියවන්න. එම කථා පුවත් ඔබට ඉදිරියේදී මෙතනින් කියවන්න පුළුවන්..බුදුසරණයි...

      Delete
  4. Kiayanna wachana na

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආවට ඉදිරියේදී හෙළවිජය තරුණ සංවිධානය සමග රැඳෙන්න මේ වගේ වැදගත් තව බොහෝ දේ ඔබට කියවන්න ලැබේවි. බුදු සරණයි....

      Delete
  5. ape hamuduruwane...godak watina kathawak...godak dawal igenagaththa...a wagema kisida noasu wiralama ganaye katawak...oba wahanseta godak pin theruwan saranai....ayu rakkanthu awada....

    ReplyDelete
    Replies
    1. ජනිත් ඉතින් කවදත් හෙළවිජයත් එක්ක ඉන්න අපේ වැඩ අග‍යන කෙනෙක් බව අපි දන්නවා. ඔබටත් බොයහා්ම පිංග බුදුසරණයි....

      Delete
  6. Me Kathawath Godak ape tharuna ayata watinawa...Thawath godak Liyanna Ape Hamuduruwane....

    ReplyDelete
    Replies
    1. ඔව් සිදත් අයියේ අපේ තරුණ සංවිධානයේ ඉලක්කය රටේ තරුණ පරපුර වෙනුවෙන් යමක් කිරීමයි. ඒ වෙනුවෙන් යමක් කරගෙන යනවා දැනට. අද ගොඩක් තරුණ අයට නිසි මග පෙන්වීමක් නැහැ.අපි ඉදිරියේදී තවත් බොහෝ දේ කරන්නට උත්සහ කරනවා. අපට ඔබ වැනි තරුණයන්ගේ සහය ඉතා වැදගත්. ඉතින් ඉදිරියේදීත් අපත් සමග සම්බන්ධ වෙන්න. බුදුසරණයි ඔබටත්...

      Delete
  7. me de godak ape tharuna paramparawata wedagath wenawa,ada tharuna parapura ape bududahama saha budda charithaya gena danna pramanaya alpai.tharuna parapura bududahama pilibada athi pehedeema thiyunu kirimata oba wahanse darana weeyamata ma hisa nama achara karami!

    ReplyDelete
    Replies
    1. සම්පත් ඔබ කියන්නා වගේ මේ වගේ දේවල් ගොඩක් වැදගත් අපේ තරුණ පරපුරට. මේ වෙනකොට මේ කථා තරුණ අය බොයොමයක් කියවලා තියෙනවා. එනිසා අපේ වැඩසටහන ගැන අපට සතුටුයි. ඔබත් පැමිණියාට බොහොම පිං ඔබටත්... තෙරුවන් සරණයි....

      Delete
  8. ඇත්තටම ගොඩක් ලස්සනයි ආසාවෙන් කිවන්න පුලුවන්...............

    ReplyDelete
  9. ‍අපේ බලාපොරොත්තුවත් ඒකම තමයි. ඉදිරියේදීත් ඔබ පැමිණෙන්න. ඔබටත් බොහොම පිං.....

    ReplyDelete
  10. හරිම ලස්සන හා වටිනා කතාවක්.

    මේ කවි ඔයාලා හදපු ඒවද නැත්නම් පොතකින් ගත්ත ඒවද? එහෙම ගත්තනම් ඒ මොකද්ද පොත කියලා කියන්න පුලුවන්ද? ඒ කතාවේ මූලාශ්‍ර පොත කරුනාවෙන් කියන්න.

    ReplyDelete
  11. ත්‍රිපිටකයේ අඩංගු පාලි පාඨයන් සමග ඉදිරිපත් කරනවනම් ගොඩක් හොදයි....

    ReplyDelete
  12. මම කතෝලික කෙනෙක් . මාත් මෙම කථාව බැලුවා. ජේසුස් වහන්සේගේ ජීවිත කථාවමයි. දුෂ්කර ක්‍රියා කරලා අප වෙනුවෙන් අපේ පවු වෙනුවෙන් උකුත් වන ජේසු තුමා වගේ සිදුහත් රජුත් බුදුබව ලබනවා. හැක ආගමක්ම එක වගේ. කිසිම බෙදීමක් නැහැ. මනුෂ්‍ය අප අපගේ සිත් වල වෙනසයි තියෙන්නේ. මනුෂ්‍යයන්ට සැප සම්පත් ලැබෙන්න ලැබෙන්න පාපයට ලොල් වෙනවා වැඩියි.

    ReplyDelete
  13. මම කතෝලික කෙනෙක් . මාත් මෙම කථාව බැලුවා. ජේසුස් වහන්සේගේ ජීවිත කථාවමයි. දුෂ්කර ක්‍රියා කරලා අප වෙනුවෙන් අපේ පවු වෙනුවෙන් උකුත් වන ජේසු තුමා වගේ සිදුහත් රජුත් බුදුබව ලබනවා. හැක ආගමක්ම එක වගේ. කිසිම බෙදීමක් නැහැ. මනුෂ්‍ය අප අපගේ සිත් වල වෙනසයි තියෙන්නේ. මනුෂ්‍යයන්ට සැප සම්පත් ලැබෙන්න ලැබෙන්න පාපයට ලොල් වෙනවා වැඩියි.

    ReplyDelete

ඔබේ අදහස් අගයමු