Friday, July 18, 2014

සිවුරු පඬු ගැසීම හෙවත් පාටකිරීම ගැන ඔබ දන්නවාද? පින්තූර සමඟ අප වෙතින්... (22 photos)

Please share this…!!!
(මිතුරන් අතරේ ෂෙයාර් කරන්න)
මම මීට පෙර පාත්‍රා කළු කරන ආකාරය පැහැදිලි කළා. අද සිවුරු පඬු පොවන ආකාරය ඔබට කෙටියෙන් පැහැදිලි කරන්නම්. අද වගේ අතීතයේ පේෂ කර්මාන්තය දියුණුව තිබුණේ නැහැ. අද නම් අපට විවිධ තත්වයන්ගෙන් යුත් චීවර ලැබෙනවා. බුදුන් දවස පටන් අතීතයේ අපේ හාමුදුරුවරු සිවුරු සකසා ගත්තේ සොහොනට විසිකරන මළමිනී ඔතා තැබූ කපු රෙදිවලින්. මළ මිනී ඔතා විසිකළ රෙදි පළමුව කොටස් වශයෙන් කපාගෙන චීවරයක් ලෙස මසා ගන්නවා. මේ චීවර මහන ක්‍රමයේත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන සිවුරු මසා තිබෙන්නේ මගධයේ පිහිටි කුඹුරක ආකෘතියට අනුව. භික්ෂූන්ගේ චීවරය කෙසේ විය යුතුද යන ගැටලුවේදී බුදුහාමුදුරුවෝ මගධ කෙතේ ආකාරයට සිවුර මසාගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා. අද දක්වා ඒ ක්‍රමය පැවත එනවා. කෙසේ හෝ ඉහත ආකාරයට රෙදි කොටස් වශයෙන් කපා සිවුරු මසාගෙන ඉන්පසු ලිපක් පිළියෙළ කරගත යුතුය. ලිප ගිනි දල්වා ප්‍රමාණවත් හැලියක් ලිපේ තබා ප්‍රමාණවත් ලෙස වතුර දමා හොඳින් රත්කළ යුතුය. වතුර හැලියට නුග සහ කොස් ආදී වර්ණ සහිත ගස්පොතු දැමිය යුතුය. ඒවා හැලියට දමන්නේ වතුර අවශ්‍ය ලෙස පාට කරගැනීම සඳහායි. අතීතයේ ගස්පොතුම පමණක් භාවිතා කළත් අද පඬු පැකට් කඩයෙන් මිලදී ගත හැකිය. එබැවින් ගස් පොතු සමඟ පඬු පැකට්ද අපි භාවිතා කළෙමු.
වතුර හොඳින් පැහුණු පසු පඬු පැකට්වලින් ප්‍රමාණවත් ලෙස පඬු වතුර හැලියට දැමිය යුතු. එහිදී ලුණු හැන්දක් පමණ වතුර හැලියට දැමිය යුතුයි. ඒ පඬු සිවුරු වලට හොඳින් කාවැදීම සඳහායි. විනාඩි දහයක් පමණ තවත් හොඳින් වතුර හැලිය රත්කොට පඬුගැසීමට අවශ්‍ය සිවුරු හොඳින් වතුරෙන් සේදිය යුතුයි. සෝදා තෙත ගතිය සහිත එම සිවුරු රෙදි පැහුණු පඬු සහිත හැලියට දැමිය යුතුය. එසේ දමා, දැමූ සිවුරු විනාඩි විස්සක් හෝ ඊට වැඩිය ලී මිටක් භාවිතයෙන් උඩුයටිකුරු කරමින් හොඳින් වතුරෙන් තැම්බිය යුතුය. ඉන්පසු සිවුරු ඉවතට ගෙන සුළු වේලාවක් තබා වතුරෙන් සෝදා සුළගේ වේලාගත යුතුය. තද අව්ව සහිත ස්ථානයන්හි පඬු ගැසූ රෙදි වේලෙන්නට දැමුව හොත් එහිදී වර්ණය අව්වට පිච්චේ. එබැවින් සුළගේ වේලීම සිදුකරයි. ඉහත ආකාරයට අතීතයේ බුදුන් දවස වැඩ සිටි මහරහතන් වහන්සේගේ පටන් කුඩා භික්ෂුව දක්වා සිවුරු පඬු ගැසීම සිදුකොට ඇත. අද අවශ්‍ය තරම් සිවුරු අවශ්‍ය වර්ණයකින් කඩයෙන් මිලදී ගත හැකිය. නමුත් අතීතයේ එසේ නොවේ. ඉහත ආකාරයට මම ද මාගේ උපසම්පදාව සඳහා චීවර සකස්කර ගතිමි. එසේ සිවුරු පඬු ගැසූ ආකාරය සහ එසේ සකසාගත් සිවුරු මා පරිහරණය කරන ආකාරය ඔබට මෙහි ඇති පින්තූර මගින් දැකගත හැකිය...මම නවතිමි.
ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
ගඟසිරිපුර ධම්මාලෝක හිමි...






















No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු