Monday, May 19, 2014

දුෂ්කර පළාත්වල දරුවන්ට බෙදාදෙන්න පාසල් උපකරණ කට්ටල පිළියෙල කිරීම...ඔබටත් හැකිනම් උදව් වෙන්න...

please share this....
ඔන්න මේ අවුරුද්දෙත් අපි දුෂ්කර පළාත්වල වෙසෙන අපේම අසරණ දරුවන් වෙනුවෙන් අපි පාසල් උපකරණ බෙදා දෙන්නෙමු. ඊයේ රාත්‍රියේ ඒ සඳහා පාසල් උපකරණ පාර්සල් පිළියෙල කළා. පසුගිය වර්ෂ 4 පුරාවට ළමුන් 3000 පමණ අපි පාසල් උපකරණ ලබාදුන්නෙමු. හෙළවිජය තරුණ සංවිධානයේ පිරිස හා මා ඉතා කාර්යබහුලත්වයට පත් වූ බැවින් මෙම වර්ෂයේ මෙම වැඩසටහන මඳක් ප්‍රමාද විය. මධ්‍යම පළාතෙහි පිහිටි අතිශය දුෂ්කර ගම්මානවලට ගොස් අසරණ දරුවන්ට අප හැකි අයුරින් උපකාර කොට ඔවුන් වෙනුවෙන් වටිනා දේශනයක් ද පවත්වා ඔවුන්ට ජීවිතයේ ජයග්‍රහණයට පාර කියා දීමයි අපේ අරමුණ. සිංහල ජනතාව නගාසිටුවන්නට නම් දිනකට කෝටි ගණන් මුදල් ගලාඑන රටපුරා පිහිටි මහා විහාරවල නායක හිමිවරුත් මහා දේවාලවල භාරකාරයිනුත් සිංහල ව්‍යාපාරිකයිනුත් පෙරට විත් අසරණ මිනිසුන්ට උපකාර කළ යුතුය. අපේ මතුපරපුර වන කුඩා දරුවන්ට සෙනෙහසින් උපකාර කොට ජීවිතයට පාර කියා දිය යුතුයි. රට පුරා මහා දේවාල හා බෞද්ධ සිද්ධස්ථාන තිබුණත්, තවත් කීයක් හරි අසරණ මිනිසුන්ගෙන් ගරා ගන්නවා විනා අසරණ මිනිසුන් කෙරෙහි දයාවෙන් ජාතිකත්වයෙන් එවැනි සත්කාරයකට පෙළඹෙන බෞද්ධ ආගමික විහාර හා දේවාල රටේ විරලය. ඈත ගම්දනව්වල සතියකට දින දෙක තුන දානය නැතිව අසරණ මිනිසුන් සමග කාලය ගෙවන සිල්වත් හිමිවරු කොතෙකුත් ඇත. ඒ අතර දවස් 7 ට සුඛෝපභෝගී වාහන 7 කින් ගමන් යන නිවාඩුවට විදෙස් සංචාරවල නිරතවන, අධි සුඛෝපභෝගී ජීවිත ගතකරන සුප්‍රසිද්ධ හිමිවරු නාගරික සමාජයේ වෙසෙති. බණකට ඇරයුම් කළ හොත් රු 20 දහස 30 දහස අය කරති. හරියට ඔවුන් දුෂ්කරක්‍රියා කොට මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තා වගෙයි. මේවා ජාති ජාතිත් ගවයින්ව ඉපිද ගෙවන්නට සිදුවන අකුසල කර්මයන්යැයි මම සිතමි. කනගාටුව නම් අපේ රටේ මිනිසුන්ට මෙහි යථාර්ථය තවමත් වැටහී නොතිබීමයි. තත්වය කෙසේ වුවත් ‘‘කළ හැකි දේ අපි කරමු. (කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන් සිදුකරන මෙහෙය ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි) අද අපි වැනි කුඩා හිමිවරුන්ට කළ හැක්කේ ඉතා ස්වල්ක වූ දෙයකි.
කළ හැක්කේ කුඩා දෙයක් වුවත් අපි ඉතා සතුටින් හැමදාමත් මෙම සත්කාරයන් සිදුකරමු. හැබැයි ඒ දරුවන්ට දෙන්නට අපට ලක්ෂ ගණනක සම්පත්, මුදල් නම් නොමැත. අපි සවිසල් විහාර මන්දිර වල වාසය කරන්නෝද නොවෙමු. සපුරුදු පරිදි වෙසක් සමයේ මම සිදුකළ ආගමික වැඩසටහන් වලදී පිරිකර නොගෙන පාසල් උපකරණ එකතු කළෙමි. ඒ අසරණ දරුවන්ට බෙදාදීම සඳහාය. මම මෙසේ සිදුකරන්නේ මමද අතීතයේ දිනක කුඩා දරුවකු ලෙසින් පෑනක් පොතක් මිලදී ගත නොහැකිව අසරණ වී හඬාවැටුණු අවස්ථා බොහෝය. අසරණ ගැමියන්ගේ දුක වටහා ගන්න අසරණ දරුවන්ගේ ආශාවල් සහ අපේක්ෂාවන් වටහා ගන්න අප පොත්පත් කියවිය යුතු නැත. ඒ එම සියලු දුක්ගැහැට මේ ජීවිතය තුළ මම ද අත්විඳ ඇති නිසාය. එබැවින් අප සේ වූ අසරණ දරුවන්ට තම අනාගත ලෝකය ජයගන්නට අපට හැකි උපරිමයෙන් උපකාර කරන්නට අපි කවදත් උත්සාහ කරන්නෙමු. මම මේ උතුම් කටයුත්තට සූදානම් වන විට ෆේස් බුක් මිතුරු කණ්ඩායමේ කිහිප දෙනෙක් මාහට උපකාර කළහ. ඔවුහු නමින් මෙසේය....
01 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා...
02 රොෂාන් ප්‍රනාන්දු මහතා...
03 පී.ජී තුෂාරිකා මහත්මිය...
04 නදීෂා රණවක මහත්මිය... යනාදීහුය.
මෙසේ උපකාර වූ අයටත් වචනයෙන් හෝ අපට සහාය දැක්වූ කලණ මිතුරු ඔබ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිටයි...!!!!!!
පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි... 071-4962050...






















2 comments:

ඔබේ අදහස් අගයමු